2020 දී කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නැත

0

■ එක්සත් ජාතික පක්ෂය හැර ඔබත් රටත් ඉහළට ඔසවා තැබිය හැකි වෙනත් පක්ෂයක් තිබේද?
■ එක්සත් ජාතික පක්ෂය හැර ඔබත් රටත් ආරක්ෂා කළ හැකි වෙනත් පක්ෂයක් තිබේද?
■ එක්සත් ජාතික පක්ෂය හැර ඔබේත්, රටේත් අනාගතය ගොඩනැංගවිය හැකි වෙනත් පක්ෂයක් තිබේද?

ඉහත ප්‍රශ්න තුනම අසනු ලබන්නේ වර්ෂ 2020 මැතිවරණය ඉලක්ක කරමින් සැකසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළය. දැන් මෙම ප්‍රශ්න නැගීම කොතරම් කාලෝචිතදැයි යමෙක්ට අසන්නට හැකිය. ඔව්, එය කාලෝචිත වන්නේම එජාපයේ ප්‍රතිපත්තිය හැමදාමත් අනාගතවාදී විසදුම් ක්‍රියාවලියකින් සමත්විත වීම නිසාවෙනි. 1982 රනිල් වික්‍රමසිංහ විසින් ගෙනා ධවල පත්‍රිකාව දැන් සොයාගැනීමටද නොහැකිය. එහෙත් එහි අඩංගු කරණු මේ වන විට සජීවීව පවතී. ඒ රට ගොඩ නැගීමට එනවා යැයි කියන දේශපාලන පක්ෂවල අධ්‍යාපන ප්‍රතිපත්තිවල රනිල් වික්‍රමසිංහගේ ධවල පත්‍රිකාවේ යෝජනා ගෙඩි පිටින් අඩංගුව පැවැතීම කොතරම් අරුමයක්ද? මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන පරිච්ඡේදය තුළ ධවල පත්‍රිකාවේ අඩංගු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනත් වචනවලින් දක්වා තිබේ. මෙහි අරුමය නම් එවක ධවල පත්‍රිකාවට විරෝධය දක්වා සිසු ජීවිත දහස් ගණනක් බිල්ලට දුන්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. එසේම අවුරුදු 30කට පසුව එකී යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වීම ගැන ඔවුන් ලැජ්ජා විය යුතු වන්නේ රනිල් වික්‍රමසිංහ එය වසර 30කට පෙර දැක තිබීමය.
2020 එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අද ක්‍රියාත්මකව පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මූලයන් ඇතුලත්ව තිබීම විශේෂ වන්නේ එදා රටට මුහුණ දීමට සිදුවිය හැකි අනතුර පෙර දැකීම නිසාය. ජනාධිපතිවරයා පසුගිය කම්කරු දිනයට කරන ප්‍රකාශය තුළ මේ බව සදහන් කරන්නේ මෙසේය. “එක්සත් ජාතික පක්ෂය රට ගැන සිතන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති දේශපාලනයෙන් සිටින පක්ෂයක්. අපි එයින් ඈත් වී නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍යයි, ලෝක බැංකුවේ ආධාර අවශ්‍යයි, අපට ඩොලර් බිලියන 07ක් ලබා ගැනීමට අවශ්‍යයි කියා එක්සත් ජාතික පක්ෂයේ 2020 මැතිවරණ ප්‍රකාශයේ අප එදා සඳහන් කළා. අපි විතරයි පක්ෂයක් ලෙස එම කරුණු සඳහන් කළේ. අනෙක් සියලු‍දෙනාම ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා කියලා දැන, දැනත් ඉටු කළ නොහැකි විවිධ පොරොන්දු ලබා දුන්නා.
එහි ප්‍රතිඵලය කුමක්ද, ඇත්ත කිව්ව එක්සත් ජාතික පක්ෂය අවසානයේ ජාතික ලැයිස්තුවකට වැටුණා. අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීමයි. ඒ නිසා අපි එයින් පසුබට වුණේ නැහැ. අපේ අරමුණ 2020ත්, 2021ත් ප්‍රකාශ කළා. 2022 මේ ප්‍රශ්නය උග්‍රවන අවස්ථාවේ මම එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැසී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා ලෙස උපදෙස් දුන්නා. හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳ වූ අවස්ථාවේ දී විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එම සාකච්ඡා වර්ජනය කළාට මමත්, ඒ වගේම දෙමළ ජාතික සන්ධානයත් ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණා.
මගේ උත්සාහය වූයේ දේශපාලනය නොවේ, රටේ ආර්ථිකය නිසි ලෙස හසුරුවාගෙන ජනතාවට සහනයක් ලබාදීමයි. ඒ නිසා රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට මට ශක්තියක් තිබෙන බවත්, ඒ වගේම මට සහයෝගය ලබා දෙන ඇමතිවරු සමඟ වැඩකර එම ප්‍රතිඵල ලබා ගතහැකි බවත් මම විශ්වාස කළ නිසා ජනාධිපති ධූරයේ වගකීම මම භාරගත්තා. මම එම විශ්වාසය තැබීමට තිබූ ප්‍රධාන හේතුව වන්නේ 2001 ආණ්ඩුව කඩා වැටුණු අවස්ථාවේ යළිත් එම ආර්ථිකය නඟා සිටුවීමට මට හැකි වුණා. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කළා. 2015 රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී ආර්ථිකය ශක්තිමත් කර ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.
ඒ නිසා මෙම ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි බවට වූ විශ්වාසයෙනුයි මම මෙම වගකීම භාරගත්තේ. එසේ නම් මෙම කාලය වන විට රටේ ආර්ථිකය සකස් කිරීමට වගේම දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.”‍

රටක සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන්නේ තනි පුද්ගල කැමැත්ත, පක්ෂයක අනාගතය හෝ දේශපාලනයේ රැදී සිටීම හෝ නොව, ප්‍රතිපත්ති කොතරම් රටට කාලෝචිතද එය ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කොතරම් මහෝපකාරී වන්නේද යන්න ගලපා ගැනීමය. ඒ අනුව සෙසු පක්ෂ ප්‍රතිපත්ති ගැන කවර කතාද? ඔවුන් ලබා දෙන පොරොන්දු හා ප්‍රතිපත්ති වරින් වර තමන්ගේ පාර්ශ්වික දේශපාලනය අනාගතය පිළිබදව පමණක් සිතා සකස්කරන
රැවටිලිකාර භාවිතයක් බවට පත්ව ඇත. මාලිමාවේ 2019 වසරේ සකස් කළ ප්‍රතිපත්ති දැන් ඔවුන්ට පාරාවළල්ලක් වී ඇත. මේ විට යම් යම් කරුණු සම්බන්ධයෙන් ඔවුන් අතරේ ද එකි නෙකා අතර පවතින්නේ නොගැලපුම්ය. එක් අයෙකු පිට කවරය පමණක් පිළිගන්නා අතර අභ්‍යන්තරික අඩංගුව
පිළිගන්නේ නැත. තවත් අයකු ප්‍රතිපත්තිවල මුද්‍රණ දෝශ ඉවත් කළ විට පිළිගත හැකි බව කියයි. ඇතැමෙකුට අනුව 2019 පැවැති පැරණි ප්‍රතිපත්තීන් ගැන කතා කිරීම පක්ෂයට මඩ ගැසීමකි. තවත් අයෙක් කියන්නේ පිටකවරයයි ඇතුළයි දෙකම වෙනස් කරන බවය. තවත් විටෙක කියන්නේ මේ ප්‍රතිපත්ති සැකසීම සාමුහික වැඩක් නිසා ඕනෑම දෙයක් ඒ තුළ අඩංගු විය හැකි බවය. සමහරුන්ට මේවා අදාලම නැති බලය ගත පසුව වැඩේ කරලා පෙන්වන බව කියයි. මේ සියලු‍ තත්වයන් නිර්මාණය කරනුයේ දර්ශනයක්, ප්‍රතිපත්තියක් නොමැති දේශපාලන අවස්ථාවාදීකම ප්‍රදර්ශනය කිරීමකි. ජනතාව ගොනාට අන්දවා දේශපාලනය කළ හැකි බව පෙන්වීමකි.
එක්සත් ජාතික පක්ෂයේ භාවිතාව වෙනස් වන්නේ මෙතැනදීය. රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති සකස් කළේ මැතිවරණයකට, සංවත්සරයකටද, පාර්ලිමේන්තුවටද, වෙනත් රාජ්‍ය ආයතනයක වාර්ෂික සැලැස්මකටද අදාළ නොවේ. ඒ සියල්ලේම පැවතියේ තමන්ට අදාළ දේශපාලනය බේරාගැනීමට
නොව රටේ අනාගත සංවර්ධනයේ සැලසුමක් අනුවය. එය ඒ ඒ වෙලාවට වෙනස් කරන තාවකාලික විජ්ජාවන්ගෙන්
වෙනස්ව, ඕනෑම කාලයකට තත්වයකට අනුව යාවත්කාලීන කළ හැකි මූලධාර්මික පදනමක් සහිත ගැඹුරු දර්ශනයකින් සමන් විත වූවකි. 2001 වසරේදී මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටී තිබූ අවස්ථාවක අගමැති ලෙස රට භාරගෙන රනිල් වික්‍රමසිංහ ක්‍රමයෙන් ආර්ථික ඉහළට එසවූයේ එජාපය අනුගමනය
කළ ප්‍රතිපත්ති පදනම මත කටයුතු කරමිනි. භාර ගන්නා විට රටේ ආර්ථිකය සෘණ අගයකට පහත වැටී තිබූ අතර මාස තුනක් යන්නට පෙර රටේ ආර්ථිකය ධන අගයක් බවට පරිවර්තනය කිරීමට සමත්විය. 2015දීත් රට නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කළේ, 2022දී ජනාධිපති ලෙස කඩා වැටී තිබූ රට වසරක් තුළ ගෑස් පෝලිම් තෙල් පෝලිම් හා ආහාර අර්බුදයන් සමනය කොට නිසි පරිදි ගොඩ නැගීමට කටයුතු කරනු ලැබූවේ. නිවරදි ප්‍රතිපත්ති පදනමක පිහිටා ක්‍රියාත්මක වීම නිසාය.
ඉදිරියට මුහුණ දීමට සිදුවන අර්බුදයන් පෙර දැක තිබීම යනු දේශපාලනඥයෙකුගේ පරිණත බවේ ලක්ෂණයකි. මේ ලක්ෂණය එසේ මෙසේ කිසිවෙකුට පිහිටනු නොලබන්නේය. මහ පොළොවේ දේශපාලනය හඳුනගෙන සිටීම, දේශපාලන ඉවෙහි මුවහත්කම, අභ්‍යන්තර සහ ජාත්‍යන්තර දේශපාලන චලනයන් නිවැරදිව ග්‍රහණය කරගැනීමට හැකිවීම, නිවැරදි දර්ශනයක් ප්‍රතිපත්තියක් මත පිහිටා සිටීම සහ එඩිතරකම ඊට අවශ්‍යය. රනිල් යනු එවැනි ප්‍රතාපවත් දේශපාලන පවුරකි.

2020 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ‘අවුල ලිහීම’ යනුවෙන් සදහන් වන තැන දැක්වෙන්නේ ‘..මේ අවුලෙන් අප රටක් ලෙස ගොඩ ආ යුතුය. අවුල ලිහා ගත යුතුය. ඊට පැලැස්තර විසදුම් හො කෙටි මාර්ග නොමැත. මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ ඒමට නම් දීර්ඝ කාලීන පරිපූර්ණ ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව අවස්ථා ගණනාවකදී පාලකයන්ට පෙන්වා දුන් අතර ඒ සදහා සහයෝගයද ලබාදෙන බව දැක්වීය. එවැනි පසුබිමක පවා පරිපූර්ණ ආර්ථික සැලසුමක් සම්පාදනය කරගැනීමට පාලකයන්ට හැකි වුයේ නැත. ඒ ඇයි? ඔවුන්ට නිවැරදි ආර්ථික දැක්මක් නැත. ආර්ථික යළි ගොඩනැගිමේ ක්‍රමයන් පිළිබද අදහසක් නැත. ජාත්‍යන්තර ආර්ථික අභියෝගයටන් මුහුණ දෙමින් දේශීය ආර්ථිකය ගොඩනැංවීමට ශක්තියක් නොමැත. මේ බව දැන් ඔවුන් ජනතාව ඉදිරියේ ඔප්පුකර හමාරය. ඉදිරිය මීට වඩා භයානකය..”‍ මේ අදහස 2020 දී පළ කරන විට ඇස් කන් වසා සිටි පාලකයන්ට 2022 වන විට ඒ භයානක කමට මුහුණ දීමට සිදු විය. සමස්ත ජනතාවමත් ඒ අර්බුදයේ කොටස්කාරයන් වින්දිතයන් කර තලාපෙළා දැම්මේය. ඒ අවසානයේ නැවත රට භාර ගැනීමට වූයේද රනිල්ටය. වෙන දෙන්න කෙනෙක් සිටියේ නැත. ගන්න කෙනෙක් සිටියේද නැත.
එසේම අර්ථික අර්බුදය කොතරම් දරුණුද යන්න ඔහු මනාව දැන සිටි අතර එවක පුද්ගලික මාධ්‍ය නාලිකාවක නිවේදකයකු අසනුයේ මේ සිංහල අවුරුද්ද සැමරීමට නොහැකි තැනක සිටින්නේ ආර්ථික අර්බුදයක් හේතුවෙන් බැවින්, ඔබ සිටියා නම් මේ තත්වයට කුමක් කරන්නේද යන්නයි. ඔහු සරල සැහැල්ලු‍ බසින් ලබා දෙන පිළිතුර වූයේ. ‘මා සිටියා නම් මේ අවුරුද්ද සෑම නිවසකම සැමරීමට ජනතාවට අවශ්‍ය දේ ලබා දෙන බවය.’ මෙවැනි පිළිතරක් ඕනෑම දේශපාලනඥයකුට දිය හැකිය. නමුත් රනිල් කියන්නෙ නිකම්ම වචන නාස්ති කරන්නෙකු නොවේ. තමන් කියන දේ කර පෙන්වූ දේ ප්‍රායෝගික නායකයෙකි.
1965,1977, 2002, 2015 වසරවල දී මෙන්ම, 2022 දීත්, කඩා වැටුනු ආර්ථිකය නැවත ගොඩනැගීමට සහ අනාගතය වෙනුවෙන් රට නිවැරදි මාවතට ගැනීමට කටයුතු යෙදුවේ එක්සත් ජාතික පක්ෂයය. එජාපය ගැන එහෙම කියන්නම වන්නේ රටේ පාලනය ගත් සෙසු කණ්ඩායම් නිරන්තරයෙන්ම වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් රටේ සංවර්ධන ගමන ආපසු හරවා අර්බුදවල ගිල්වා දැමීම නිසාය.
ගෝඨා පලන සමයේදී විපක්ෂයේ මනත්‍රීවරයකුව සිටිමින් රනිල් යෝජනා කරන්නේ ජාත්‍යන්තර සහයෝගය ගෙන ආර්ථික අර්බුදයට මුහුණ දිය යුතු බවයි. එය සාත්ෂාත් කරගැනීමට සිදුවූයෙත් ඔහුටමය. 2023 මාර්තු වන විට මේ රටට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට ඔහුට හැකිවිය. ඒ අනුව නැවත යථාතත්වයට රට පත් කරගැනීමට ගත වූයේ ඉතා අඩු කාලයකි.
විදේශ ආදායම් කඩා වැටීම ගැන 2020 දුටු දේ සත්‍යයක් වීමට ගත වූයේ වසරකටත් අඩු කාලයකි. විදෙස් ආදායම් හරහා රටට ලැබන ඩොලර් මිලියන 7000ක ආදායමක් අහිමිවන බව දුටු අතර එසේම ණය හා සේවාවන් සදහා ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 3000ක් වන බවත් ඒ නිසාම ඉදිරි වසර දෙක තුළ ඩොලර් මිලියන 6000ක් දේශීය ආර්ථිකයට කාන්දු කරලීමට අවශ්‍ය බව ගණන් බලා ඇති බවත් ලබන වසර තුළ අවම ඩොලර් මිලියන 3000ක් අවශ්‍ය බවත් දක්වා තිබුනි. එසේම ඒ සදහා වූ පිළියමද ඒ වන විටත් ජාත්‍යන්තර සංවිධාන ඔස්සේ ලබාගැනීමට සැලසුම් කොට ඇති බවද දක්වා තිබුනි.
මේ ගැන ජනපති රනිල් කුලියාපිටිය
රැස්වීමෙදි පෙන්වා දුන්නේ අනෙක් කිසිදු කණ්ඩායමක් මේ අර්බුදයට විසඳුම් එදා ඉදිරිපත් කිරීමට අසමත් වූ බවය. මේ ප්‍රකාශයට උරණ වු ජවිපෙ ආර්ථික විශේෂඥ සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කර තිබුණේ අපි කොහොමද 2022 රට බංකොලොත් වෙන බව 2019 දි දැනගන්නේ කියාය. නමුත් රට බංකොළොත් වෙන බව ගෝඨා පාලනය පිහිටුවන්නත් මාසයකට පෙර දිවංගත මංගල සමරවීර කියන්නේ ගෝඨාභයගේ ආර්ථික ප්‍රතිපත්ති වලින් එය හැර වෙනකක් සිදු නොවන බව සහතික කරමිනි. ඒ එජාප දේශපාලනයේ මුවහත්කමය. එජාප නායකයන් මේ සත්‍යය දිගින් දිගටම පෙන්වමින් තිබුණත් ඒ වටහා ගන්නටවත් මාලිමා නායකයන්ට හැකියාවක් තිබුණේ නැත. අදත් නැත. ඒ තබා අද පවතින අර්බුදය කුමක්ද කියාවත් මාලිමා නයකයන්ට නිවැරදි විග්‍රහයක් නැත.
ඒ අනුව කීමට ඇත්තේ එක් දෙයකි. විපක්ෂයේ සජබ හා මාලිමා රැළි පිටි රැළි නංවමින් කුමන පන්නයේ කවර ප්‍රතිපත්ති, පොරොන්දු සංදර්ශන දියත් කළත් රනිල්ගේ වැඩ සටහන හැර මේ රට ගොඩ ගැනීමට තරම් විකල්ප මාවතක් පෙන්වීමට වෙනත් කිසිවකුත් සමත් නොමැති බව පෙන්වා දී ඇති බවය.

…….කේ.පී.අයි. ප්‍රියංගනී……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *