මා කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලින් ඉවත් වී නැහැ

සියලු පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා – ජනපති

රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නැති බවත්, සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ප්‍රතිපත්තීන් දෙක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත ලිවීමට බෙහෙවින් ප්‍රමාණවත් බව පැවසු ජනාධිපතිවරයා එම ප්‍රතිපත්තින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් වන බැවින් තමා ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

මේ වන විට කලාපයේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණය කර අලුත් ආණ්ඩු පත්වී තිබෙන බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවද මැතිවරණයක් කරා ගමන් කරමින් සිටින බවත් සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් ආණ්ඩුව වෙනස් කිරීමට උත්සාහ කරනවාද, නැතහොත් රට ජයග්‍රහණය කරනවාද යන්න මෙවර මැතිවරණයේ දී තීරණය කළ යුතු බවත් පැවසීය.

ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 දෙසැම්බර් මාසය අවසානය වන සිට සමාජ සුබසාධන වියදම් හැර සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් සපුරා ඇති බවත් 2024 අප්‍රේල් මාසය අවසන් වන විට බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් යුතුව හෝ සම්පූර්ණ කර ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙන බවද අනාවරණය කළේය.

ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් මෙම අර්බුදයෙන් ගොඩ එනු ඇතැයි බොහෝ අය නොසිතූ අවස්ථාවක මෙම තත්ත්වය තමා බලාපොරොත්තු වූවාට වඩා යහපත් තත්ත්වයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් තමන් සමඟ විශ්වාසයෙන් කටයුතු කළ සියලුදෙනාට ස්තූතිවන බවද සඳහන් කළේය.

බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.