රට ආර්ථික වශයෙන් ස්ථාවරවෙමින් තිබෙන අවස්ථාවේ එය අස්ථාවර කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “නීති ගරුක රටක්’ යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුවද තමා එලෙස නොකළ බවද, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවද පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බව ද අවධාරණය කරන ලදි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥ මහත්වරුන් ද ඉදිරිපත්වීම පුදුමයට කරුණක් බවය.