දකුණේ පාසල් දරුවන්ගේ දැනුම නංවන්න ඉන්දියාවෙන් සුහුරු පන්ති කාමර 200ක් හිමිවේ

ඉන්දීය රජය ශ්‍රී  ලංකාවේ දකුණු පළාත් පාසල් දරුවන්ගේ දැනුම ඉහළ නැංවීම අරමුණු කරගෙන සුහුරු පන්ති කාමර 200ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ පැවැති උත්සවයක දී දකුණු පළාතේ පාසල් රැසක් සඳහා ඩිජිටල් උපකරණ ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම ඩිජිටල් උපකරණ ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ දකුණු පළාතේ සුහුරු පන්ති කාමර 200ක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතියක් යටතේ භාරදී තිබේ.

දකුණු පළාතේ පාසල් 200ක් සඳහා ඩිජිටල් උපකරණ සපයමින් එම පාසල්, ලොව පුරා ඩිජිටල් සම්පත් සහ තොරතුරුවලින් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා බලගැන්වීම මේ ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.