මැතිවරණ වියදම් නියාමන පනතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කෙරෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සර්ව ජන ඡන්ද අයිතිය ජනතාවට ලබා දී තිබුණත් මුල සිට ම මැතිවරණවලදී සිදුවන දූෂණ හේතුවෙන් ජනතාවගේ සත්‍ය නියෝජනය ප්‍රතිඵල මගින් නිරූපණය වී නොමැති බව ත් එම දූෂණ අතර අල්ලස්, බිය ගැන්වීම්, රැවටීම්, බලපෑම් කිරීම යනාදී දෑ වන අතර ජනතාවගේ දුගී දුප්පත්කම යොදා ගෙන ඔවුන්ව රවටන අවස්ථාවන් අතීතයේදී සිදු වී ඇති බව ත් සඳහන් කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන ලෙස ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ඇතුළු අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටත් එක් එක් දේශපාලන පක්ෂයකට සහ අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල සීමා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක් බව ත් තවදුරට ත් එම ලිපියේ සඳහන් කර තිබේ.