වාර්ගික ගැටලු නොමැති ලංකාවේ ආයෝජන සඳහා ඇමැති මනුෂගෙන් ඩයස්පෝරාවට ආරාධනාවක්

“අපේ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ශ්‍රී ලංකාව දියුණු කිරීමට උනන්දුවෙන් බලාගෙන සිටිනවා. කිලිනොච්චියේ ව්‍යාපාර බොහොමයක් ඩයස්පෝරාවේ සාමාජිකයන්ගේ.එම ඩයස්පෝරාවට ලංකාවට පැමිණෙන ලෙස අපි ආරාධනා කරනවා . මෙහෙ ඉඩම් ප්‍රශ්න දැන් විසඳිලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ වාර්ගික ප්‍රශ්න නැතිවෙන විදිහට දැන් පරිසරය හදලා තියෙනවා.

ශ්‍රී ලංකාවත් එක්ක එකතුවෙලා එකට අපි රට ගොඩනගන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.” කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ‘කිලිනොච්චිය – ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනේ දෙවැනි දින වැඩසටහනක් වන ‘ස්මාට් යූත් ක්ලබ්’ සභාව ආමන්ත්‍රණය කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැටුණු අවස්ාවේ ඒ සඳහා දායකත්වය දැක්වූයේ රටට ඩොලර් බිලියන 12ක් එවූ විදේශ ගත ශ්‍රමිකයන් බව පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවැසුවේ ජාත්‍යන්තර ව්‍යාපාරික ඉලෝන් මස්ක්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පටන් ගැනීම සඳහා ජනාධිපතිවරයා මූලික අවසරය ලබාදී ඇති බවය.