‘‘සභාපතිවීමට නිමල්ට අයිතියක් නෑ” තිලංග සුමතිපාල මහතා  පවසයි

මෙරට අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරන ලදි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාවයයි පැවසූ ඒ මහතා ආණ්ඩුවේ ඉඳගෙන පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් ම කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවද ඒ මහතා පැවසීය.

මෙම අදහස් පළ ඒ මහතා පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකදී පළ කළේ ය.

මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැවැත්විණි.