මාලිමාවේ රැස්වීමට නිල ඇඳුමෙන් ගිය හෙද හෙදියන්ට එරෙහිව පැමිණිලි.

රාජකාරී නිවාඩු සහ දුම්රිය බලපත්‍ර දීමටත් අමාත්‍යාංශ අනුමැතිය ලැබිලා.

ජාතික ජන බලවේගය පසුගියදා මහරගම තරුණ සේවා සභාවේ පැවැත්වු රැස්වීමට හෙද හෙදියන් නිල ඇඳුමෙන් සහභාගීවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවැති මෙම රැස්වීමට හෙද නිලධාරීන්ට සහභාගී වීම සඳහා වැටුප් සහිත නිවාඩු ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන වෙනුවෙන් පාලන අංශයේ අධ්‍යක්ෂ එම්.එල්.එම්. අලීගේ අත්සනින් යුතුව ලිපිය ස නිකුත් කර ඇත. ඒ අනුව රැස්වීමට සහභාගි වූ හෙද නිලධාරීන්ට එදින රාජකාරී නිවාඩු සහ දුම්රිය ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙසද ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්දයෙන් කරුණු දක්වන නිදහස්හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ මහජන බදු මුදල් වැයකර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බවයි.

එසේම පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව නම් මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට ඇති මොහොත මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙක් එම සමුළුවට කැඳවීම බවයි. වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස එම අපේක්ෂකයා අදාල සමුළුවට කැඳවා ගැනීම නොකළ යුතු දෙයක් බවත්, සමුළුවට නිල ඇඳුම භාවිතා නොකළා නම් නිවැරදි බවත් පැෆරල් සංවිධානය පවසා ඇත.