එදා අකමැති ජවිපෙ මෙදා 13ට කැමති වී තිබීම සතුටක් – සී.වී. විග්නේෂ්වරම්

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අනාගතයේ ෆෙඩරල් පාලන බලයක් සිංහල ජනතාවගේ කැමැත්ත අනුව ලබා ගත හැකි වනු ඇතැයි තමිල් මක්කල් කුට්ටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේස්වරන් මහතා සඳහන් කර සිටී.

13ට එදා විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එය පිළිගන්නා බව ප්‍රකාශ කර තිබීම සතුටක්ඇ බවත් අරගලයට සම්බන්ධ වූ උගත් තරුණ පිරිස පවා ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධ නොමැති හෙයින් ෆෙඩරල් පාලනයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් විග්නේෂ්වරම් මහතා සදහන් කර සිටියේය .

එක්සත් භාවයෙන් තම තමන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට හොඳම ක්‍රමය ෆෙඩරල් ක්‍රමය වන අතර මේ වන විට මෙරට තරුණ පිරිසගේ ආකල්ප වෙනස් වී තිබෙන බවයි විග්නේස්වරන් මහතා ප්‍රකාශ කරන්නේ.

වර්තමානයේ පවතින්නේ බලය සම්පූර්ණයෙන්ම සිංහල දේශපාලකයන් අත තබාගැනීමේ ක්‍රියාවලියක් වන අතර සුළු ජාතීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඔවුන් මැළි බවක් දක්වනවා. දෙමළ ජනතාව ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ එක්සත් රාජ්‍යයක් තුළ බලය බෙදාගැනීමට හා තම පළාතේ සංවර්ධන කටයුතු තමන්ට කර ගැනීමේ අපේක්ෂාවෙන් බව හෙතෙම කියා සිටියා.

ෆෙඩරල් ක්‍රමයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු අතර ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු යැයි පැවසූ විග්නේස්වරන් මහතා රටේ පවතින ආර්ථික දේශපාලනික වාතාවරණය යටතේ අනාගතය කෙබඳු මුහුණුවරක් ගනීද යන්න පිළිබඳව විමසා බලා ෆෙඩරල් ක්‍රමයක් ලබාගැනීම සඳහා කටයුතු කළ යුතු යැයි සදහන් කර සිටී.

ඉඩම් සහ පොලිස් බලතල දෙමළ ජනතාව ඉල්ලා සිටි දෙයක් නොවන අතර එය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙන්නක් බවද, පැවැති ආණ්ඩු එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා නුදුන් බවද ඔහු සදහන් කර සිටියේය.

ෆෙඩරල් ක්‍රමයක් සඳහා අනාගතයේ ඉන්දියාවේ සහය හිමිවනු ඇතැයි විශ්වාස කරන බවද විග්නේස්වරන් මහතා වැඩිදුරටත් පැවසුවා.