ආර්ථිකය යලි ස්ථාවරයි..! කලකට පසුව කොටස් වෙළෙඳපොළෙන් සුපිරි පිම්මක්

ඊයේ (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් වාර්තා විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 196.44 ක දැවැනත් වර්ධනයක් වාර්තා කිරීම කැපීපෙනෙන කරුණක් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 53.66 ක වර්ධනයක් වාර්තා කරන ලදී.

පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී මෙය පිළිවෙලින් 2.23% ක හා 2.15% ක ඉහළ යාමකි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,014.83 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,548.34 ක් ලෙසින් සටහන්ව තිබුණි.

ඊයේ දිනයේ දී රු. බිලියන 1.16 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.13 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 888 ක් ලෙසින් වාර්තා විය.

කෙසේවෙතත් විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය ඊයේ දිනයේ දී ඉතා පහළ මට්ටමක පැවති අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 23 ක් තරම් ඉතා අවම අගයක පැවතුණි. විදේශීය විකිණුම් රු. මිලියන 272 ක් ලෙසින් වාර්තා වී තිබේ.

වැලිබල් වන්, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, හෝල්ඩිංග්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

ඊයේ දිනයේ දී සමාගම් 142 ක කොටස් මිල ගණන් පූර්ව දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර සමාගම් 44 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි.