තෙල්, විදුලි බිල් අඩු වනවිට අඩු නොවන බඩු මිල අවම කිරීමට නීතිපතිගෙන් උපදෙස් පතයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ඉන්ද්‍රජිත් උඩුවර මහතා අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ යෑම පාලනයට නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව පවසයි .

පාරිභෝගික අධිකාරිය ලෙස වෙළෙඳපොළේ භාණ්ඩ මිල පාලනය සඳහා තීන්දු තීරණ ගැනීම පිළිබද ක්‍රියාකාරී විය හැකි ආකාර පිළිබඳ මෙලෙස නීතිපති උපදෙස් ලබා ගැනීමට මේ සතිය තුළ නීතිපතිවරයාට ලිපියක් යොමු කරන බව සභාපතිවරයා පවසන ලදි.

විදුලිය, ගෑස්, ඉන්ධන මිල අඩු වුවද පාරිභෝගිකයාට සහන නොලැබෙන බවට බොහෝ පිරිසක් චෝදනා එල්ල කරන බව පැවැසූ සභාපතිවරයා ඒ අනුව, වෙළෙඳ භාණ්ඩ සඳහා මිල නිර්ණයක් ප්‍රසිද්ධ කරන බව ද පැවසීය.

ආහාර සහ අනෙකුත් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකරන හෝටල්, කඩවලට විරුද්ධව අනිවාර්යයෙන් නඩු පැවරීමට වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ඔහු සදහන් කරන ලදි.