නැවත දැනුම්දෙන තුරු මුහුදු යෑමෙන් වළකින්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

එම දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු මුහුදු යෑමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

අද (17 වැනිදා) පස්වරු 1.00 දක්වා මෙම රතු නිවේදනය වලංගු බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ දිනවල පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි බවත් මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.