විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට

දැනට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීමට කටයුතු කිරීමට අදාළ නීතිමය විධිවිධාන පැනවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ශෛලී අධ්‍යාපනික පදනම පනත් කෙටුම්පත

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ශෛලී අධ්‍යාපනික පදනම’ පනත් කෙටුම්පත සඳහා වන මූලික පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

සියඹලාණ්ඩුවේ ඉඩමක් උප බදු දීමට අනුමැතිය

මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 219.72ක පමණ ඉඩම් ප්‍රමාණය තෝරාගනු ලබන පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයා වෙත උප බදු දීමට හැකි වන පරිදි අදාළ විධිවිධානද සහිතව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත වසර 25ක කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත දීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ග්‍රිඩ් උපපොළ 8ක ව්‍යාපෘතිවලට අනුමැතිය

ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නිමැවුම් බල ඒකක මෙගාවොට් 70ක ධාරිතාවකින් යුත් භූමිය මත සවි කළ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නිමැවුම් බල ඒකක මෙගාවොට් 1-5 අතර ධාරිතාවකින් ගොඩනැංවීමේ, අයිතිය දැරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ග්‍රිඩ් උපපොළ 8ක් සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ආයෝජකයන් වෙත අනුමැතිය දීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ඔලුවිල් මත්ස්‍ය පිරිසැකසුම් යන්ත්‍රාගාරය බදු දීමට අනුමැතිය

ඔලුවිල් ධීවර වරාය පරිශ්‍රයේ ප්‍රයෝජනයට නොගෙන පවතින මත්ස්‍ය පිරිසැකසුම් යන්ත්‍රාගාරය නැවත සක්‍රීය කරමින් මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යෑමට සීමාසහිත ටෙස් (පෞද්ගලික) සමාගම වෙත වසර 10ක කාලසීමාවකට බදු පදනම මත දීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතියකට අනුමැතිය

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය ඉහළ නැංවීම සහ රැකියා/ ජීවනෝපාය අවස්ථා සැලසීම සඳහා මේ වර්ෂයේ ඉතිරි කාලසීමාව තුළ මත්ස්‍ය පැටවුන් මිලියන 100ක් සහ මිරිදිය ඉස්සන් පසු කීටයන් මිලියන 50ක් පමණ ජලාශ වෙත මුදාහැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සලසා ගැනීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් 2023 වර්ෂය සඳහා එම කාර්යයන් වෙනුවෙන් රු. මිලියන 100ක අතිරේක ප්‍රතිපාදන සලසා දීම ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ප්‍රජා පාදක විශෝධනයට උපදේශක මණ්ඩලයක්

ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරනු ලබන කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ සහ අනෙකුත් අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් සහ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව යෝජිත උපදේශක මණ්ඩලය පත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

නව වාණිජ මහාධිකරණයක්

නව වාණිජ මහාධිකරණයක් කොළඹ 12, අධිකරණ මාවතේ අංක 80 දරන ස්ථානයෙහි ස්ථාපිත කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

සමථ මණ්ඩල පනත සංශෝධන කෙටුම්පත

සමථ මණ්ඩල පනත සංශෝධන කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක්

අඩු ආදායම්ලාභි පුද්ගලයන් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදිකිරීම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම පනත් කෙටුම්පත

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම’ පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *