ඩයනාගේ පාර්ලිමේන්තු අසුන මුජිබර්ට

0

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු ආසනය අහිමි වීමෙන් පුරප්පාඩුවන පාර්මේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.

මුජිබර් රහුමාන් මහතා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා 2023 ජනවාර් 20 වැනි දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් මුජිබර් රහුමාන් මහතාට නගරාධිපති ධුරය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යන තනතුරු දෙකම අහිමි විය.

රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බවටමුජිබර් රහුමාන් මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේ කටයුතු වෙනුවෙන් මුජිබර් රහුමාන් මහතාගේ සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ආසනය මුජිබර් රහුමාන් මහතාට ලබා දෙන බවට මීට පෙර පොරොන්දු වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *