රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්..! පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ..! ජනපති රනිල්..!

0

රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (04) පැවති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

සිංහල ව්‍යාපාර ආරම්භ වුණේ පොල් වගාවෙනුයි. පොල් කර්මාන්තය එකල දියුණු කර්මාන්තයක්ව පැවතුනා. 1970 වන තුරුම සිංහල ජනතාව විශාල පොල් ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කිව්වා. නමුත් 1972-73 සිදු කළ ඉඩම් ප්‍රතිසංස්කරණය සමඟ සිංහල ව්‍යාපාරිකයාගේ ප්‍රාග්ධන මට්ටම පහත වැටුණා.

සිංහල ව්‍යාපාරිකයන් කෘෂිකර්මාන්තයට දක්ෂ නමුත් ඔවුන්ට මූල්‍ය ප්‍රාග්ධනය අහිමිවීම නිසා ව්‍යාපාර බිඳ වැටීමකට ලක් වුණා. ඉන්පසු පොල් වත්තක් අක්කර 50ට සීමා වුණා. කුඩා පොල් වතු හිමියන්ගේ ප්‍රමාණය වැඩි වුණා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත පොල් කර්මාන්තය දියුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. නමුත් පසුගිය වසර 50 තුළ පොල් කර්මාන්තයේ දියුණුවක් ඇති වූ බව කියන්න බැහැ.

නමුත් අපට පසුව මෙම වගාවට යොමු වූ රටවල් සීග්‍රයෙන් ඉදිරියට එන බවක් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන් බ්‍රසීලය, වියට්නාමය වැනි රටවල හෙක්ටයාරයකින් ගෙඩි 8000 ක පමණ අස්වැන්නක් ලබා ගනිමින් තිබෙනවා. අප එකතැන සිටියදී එම රටවල් අප පසුකරමින් ඉදිරියට ගොස් තිබෙනවා

අද ශ්‍රී ලංකාව තුළ පොල් වගා කරුවන් ගෙන් 82% කට තිබෙන්නේ අක්කර 20කට අඩු ඉඩම්. පොල් වගාකරුවන්ගෙන් මහා පරිමාණයෙන් වගා කටයුතුවල නිරතවන්නේ 18% ක් පමණයි. ඒ වගේම ලංකාවේ තිබෙන්නේ පොල් අක්කර මිලියන 1.1ක් වැනි ප්‍රමාණයක්. 1950දී ඉන්දියාව පොල් වගාව ආරම්භ කළේ පොල් ඉඩම් අක්කර මිලියන ලක්ෂ 20ක පමණ ප්‍රමාණයකින් . එය අද වන විට අක්කර මිලියන ලක්ෂ හතළිස් පහක් පමණ වෙලා තිබෙනවා.


අපේ පොල් නිෂ්පාදනය අක්කරයකට ගෙඩි 7000යි. නමුත් කුරුණෑගල සිට සැතපුම් 200ක් පමණ දුරින් තිබෙන තමිල්නාඩුවේ අක්කරයකට පොල් ගෙඩි 11,400ක පමණ අස්වැන්නක් ලබා ගන්නවා. තෙලගනාවල අක්කරයකට ගෙඩි 10,000ක් පමණ ලබාගන්නවා. බටහිර බෙංගාලයේ අක්කරයට පොල් ගෙඩි 12,000ක් පමණ ලබා ගන්නවා. ආන්ද්‍රා ප්‍රදේශයේ අක්කරයකට පොල් ගෙඩි 15,000ක පමණ අස්වැන්නක් ලැබෙනවා. ඒ කියන්නේ අපේ නිෂ්පාදනය මෙන් දෙගුණයක් ඔවුන් ලබා ගන්නවා.

පොල් වගාව සම්බන්ධ ආයතන තුන ඒකාබද්ධ කරන ලෙස මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා. මම හිතන්නේ එයින් ආයතන දෙකක් ඒකාබද්ධ කර, පොල් පර්යේෂණායතනය කෘෂි විශ්වවිද්‍යාලය සමඟ එකතු කිරීම සුදුසු බවයි.


මේ වන විටත් රජය විසින් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. කෘෂිකර්මාන්තය තුළින් ඉතා තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. පොල් කර්මාන්තයත් ඒ සඳහා සූදානම් කළ යුතුයි. පොල් නිෂ්පාදන වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳ අප සොයා බැලිය යුතුයි. අක්කර දෙකේ සිට අක්කර 20 දක්වා පොල් වගාවෙන් ලබාගන්නා අස්වැන්න වැඩි කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එසේම පොල් වගාව සම්පූර්ණයෙන්ම වෙළෙඳ ආර්ථිකයකට නතු කළ යුතුයි. මිල පාලනය තුළින් කිසිදිනක ව්‍යාපාර දියුණු වීමක් සිදු වන්නේ නෑ. නිෂ්පාදනය වැඩි කර පොල්වල අගය වැඩි කිරීමෙන් කර්මාන්තයක් ලෙස සාර්ථකත්වයක් ලබා ගත හැකියි.


එසේම පොල් කර්මාන්තයට ආයෝජන ගෙන ආ යුතුයි. සමස්ත පොල් නිෂ්පාදනයෙන් 55% ක් ලැබෙන්නේ පොල් ත්‍රිකෝණය මගින්. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා දෙවන පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පොල් වගාව වියළි ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කිරීම ඉතා හොඳ පියවරක්.


මේ රට බංකොළොත් වූ රටක්. නමුත් වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා මේ ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යාමට. ණය ප්‍රශස්තකරණ කටයුතු අප සිදු කරගෙන යනවා. පසුගිය දිනවල මෙරටට පැමිණි නායකයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණයෙන් පසු අපට ගෙවීමට තිබෙන ණය මුදල් නොගෙවා සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහිදී සිදු වන්නේ අපට එම ණය ගෙවීමට වැඩිදුර කාලයක් ලැබීම පමණයි. එපමණක් නොවෙයි, අපට අවශ්‍ය භාණ්ඩ ආනයනයට ද ණය මුදල් ගැනීමට සිදු වෙනවා. ඉතින් එම ණය මුදල් ගෙවන මාර්ගයක් ද තිබිය යුතුයි. දැන් තිබෙන සාම්ප්‍රදායික ආර්ථිකයෙන් එය සිදු කළ නොහැකියි. ඒ නිසා අප ඉතා තරඟකාරී අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි.
නමුත් ඊට පෙර අප ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කළයුතුයි. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම අපගේ ප්‍රධාන ණය හිමි රටවල් සමඟ ද අප ඒ පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම විවිධ පාර්ශව සමග සාකච්ඡා කළා. ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කොමිටිය මේ පිළිබඳ සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා එය පිළිගන්නා ලෙස. ඒ සඳහා රාජ්‍ය මුදල් කොමිටියෙන් සංශෝධනයකුත් ලබා දී සියලුදෙනාම පක්ෂ බේදයකින් තොරව වැඩ කටයුතු සිදු කළා.
ඒ පිළිබඳ රාජ්‍ය මුදල් කොමිටියට මම ස්තූතිවන්ත වෙනවා. අප බලාපොරොත්තු වුණා විපක්ෂය ද ඊට සහය ලබා දෙයි කියලා. ඒත් විපක්ෂයේ පක්ෂ අතර අභ්‍යන්තරව තිබු ප්‍රශ්නයක් නිසා ඔවුන් ඊට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඇතැමුන් විරුද්ධ වුණා, තවත් පිරිසක් ඡන්දය දීමට පැමිණියේ නැහැ. ඒ ගැන අප කණගාටු වෙනවා. කෙසේ හෝ සියලුදෙනාගෙන් ලැබුණු සහයෝගය මම සිහිපත් කරනවා. අප දැන් එය සම්මත කර තිබෙනවා ඒ අනුව ණය ප්‍රශස්තකරණ කටයුතු මෙම සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා විපක්ෂයේ සහයෝගය නොලැබුණත් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු සහ පක්ෂ ගණනාවක් මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අපට සහාය වුණා. ඔවුන් ඊටවිරුද්ධව කටයතු කළේ නැහැ. අවාසනාවකට හැම කෙනෙකුගෙන්ම එම සහාය හිමි වන්නේ නැහැ.

ඇතැමුන් මෙය කඩාකප්පල් කිරීමට බලනවා. ඇතැමුන් පාරට බැස විශාල විරෝධතා ඇති කිරීමට උත්සාහ කළා. නමුත් ජනතාව එය පිළිගත්තේ නැති නිසා දැන් අධිකරණය වෙත ගොස් තහනම් නියෝග ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් බලන්නේ තමන්ගේ දේශපාලන අරමුණුවලට අධිකරණය ද යොදා ගැනීමටයි. ඒ වගේම මෙම වැඩපිළිවෙළ නැවතුණොත් විදේශ රටවල් අප සමඟ ගනුදෙණු කරන්නේ නැහැ. නැවත රට තුළ ඉන්ධන පොලිම් ඇති වෙනවා. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නැති වෙනවා.


රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. මෙම වැඩසටහන පාර්ලිමේන්තුවෙන් අනුමත කර අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු බලතල සියල්ල පාර්ලිමේන්තුව ඒ ආකාරයට ක්‍රියාත්මක කරනවා. අනිත් වැඩකටයුතු අධිකරණය මගින් කළ හැකියි. ඒ අනුව මෙම මූල්‍ය කටයුතු සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නිතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.


මේ ගෙන යන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබා ගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.
ඒ වගේම සියලුදෙනා එක් වෙලා මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. පැරණි දේශපාලනයෙන් මේ රට දියුණු කරන්න බැහැ. නැවත පැරණි දේශපාලනය ගෙනත් මේ රට නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. එම වැඩකටයුතුවලදී මම පාර්ලිමේන්තුව සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ණය ප්‍රශස්තකරණයේ දී අප වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. අප සියලුදෙනා එකතුවෙලා මෙම කටයුතු සාර්ථක කර ගනිමු.


වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා
පොල්වල අපනයන ආදායම මෑත ඉතිහාසයේ බොහෝ ලෙස ඉහළගොස් තිබෙනවා. අපේ පොල්වල තිබෙන විවිධ නිෂ්පාදන ප්‍රභේද නිසා එම ඉල්ලුම තව තවත් ඉහළ යමින් තිබෙනවා. පොල් කිරි, පොල් උපස්තර, සක්‍රිය කාබන වැනි නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. මේ වසරේදී පොල් නිෂ්පාදන ආශ්‍රිත අපනයන වලින් ඩොලර් මිලියන 700 ක ආදායමක් බලාපොරොත්තු වෙනවා.


ඉදිරි දශකය ඇතුලත පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ඩොලර් බිලියන 2 ක අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලංකාව තුළ දෙවන පොල් ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ යාපනය- පේදුරුතුඩුව, මන්නාරම හා මුලතිව් ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා. පොල් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්නවා. අපනයන සඳහා යොදා ගනු ලබන්නේ පොල් නිෂ්පාදනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වය වෙනස් කරමින් අපනයන සඳහා වැඩි අවස්ථාවක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *