එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට නියෝගයක්.!

0

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

එම පෙත්සම් අද (10)  මුර්දු ප්‍රනාන්දු,  ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කර තිබුණි. 

එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බව චෝදනා කළේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය.

මෙම අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේ පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවය.

ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන්දි ලබාගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් අගතියට පත් ධීවරයින්ගේ නීතිඥවරුන්ට නියම කළේය.

එමෙන්ම වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කෙරිණි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 5 සහ 6 දිනවල කැඳවීමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *