මිනිසුන් ඉල්ලා සිටින්නේ තාප්ප වෙනුවට පාලම්ය

0

ලිදේ ඉන්න ගෙම්බාට බාහිර ලෝකය පෙනෙන දැනෙන ආකාරයේ සීමාසහිත බව ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා ඒ බාහිර ලෝකය ගැන වැඩිමනත් තිබිය හැක්කේ මිත්‍යාමය අදහස් පමණි. ඒ මත ඇතැම්විට දාර්ශනික ප‍්‍රවාද, ආගමික මත ආදී දේවල්ද බිහිවිය හැකිය. අවශ්‍ය කෙනෙකුට ළිෙ`දන් එහා ලෝකය ගැන බොරු බේගල් කියා ‍රැවටිය ද හැකිය. ඒ කොහොම වුණත් ළිඳේ ගෙම්බා අනෙක් ළිං ගෙම්බන් ළිෙ`දන් එපිටට යාම ගැනත් විරුද්ධය. මන්ද යථාර්ථය අත්දකින වුන් සිටින තරමට තමන්ගේ පැවැත්මට කෙළවෙන බව අත්දැකීමෙන් දන්නා බැවිනි. ඒ නිසා ළිෙ`දන් එපිට ලෝකය ගැන බොරු බේගල් ඇද දමා අනෙකා භීතියට පත් කරයි. තමන්ගේ පැවැත්ම අර්බුදයකට යෑම ගැන දැනගෙන එය දරාගැනීමට නොහැකිව මානසිකව අසනීප වූ විට තත්වයන් තවත් භයානකය. ලොකුම පිස්සු කෙලීම් කරන්නේ මෙහෙම ගෙම්බන්ය. ඒ අතර ආගමික සහ දේශපාලනික ගෙම්බන් ප‍්‍රමුඛය.

පසුගියදා මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ රාගම තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයකට එක් වෙමින් තමන්ගේ ආගමික වපසරියට අයත් නොවන නමුත් ආගමික විශ්වාසයක් බවට පත් කරගෙන තිබෙන විකාර හණමිටි අදහසක් ප‍්‍රකාශයට පත් කර තිබිණි. මෙය අලූ‍ත් නොවන පරණ කතාවකි. එය මේ රටේ ජාතිකවාදී වාමාංශික හණමිටිකාරයන් පට්ට ගැසූ සහ තවමත් දොඩවන කතාවකි. එය මෙසේය,

”අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවලට, එක එක බලවේගවලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ ගොල්ලෝ ඉන්දියාවට පාලමක් හදනවලූ‍. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප‍්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක‍්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලූ‍ වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට ගනුදෙනු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්ම. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පාලමක් හැදීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කණගාටු වෙනවා. නිදහස ලැබුවාට පස්සේ, අපිට තියෙන්නේ දැන් නිදහස නැති කරගන්න. ඉඩම් අක්කර දහස් ගණන් දෙමු අපි ඔක්කෝම රටවල්වලට. කෑලි කෑලිවලට කඩලා දෙමු හරි හොඳයි. එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ. මේක අසනීපයක්.”

මේ අනුව ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිමෙන් යා කරමින් පාලමක් ඉදි කිරීම ගැන මේ දිනවල ඇතිව තිබෙන කතිකාව පමණක් නොව ඉන්දියාවට සහ විදේශීය ආයෝජන ලෙස මෙරට සිදු කරන සකලාකාර සංවර්ධන ක‍්‍රියාදාමයන්ට කාදිනල් උන්නාන්සේ විරුද්ධය. ඔහුට මෙවැනි සංවර්ධන ක‍්‍රියාදාමයන් ගැන කතා කරන්නේ අසනීපකාරයන්ය.

සාමාන්‍ය කතාවට අනුව පිස්සෙක් තමන්ට පිස්සු බව පිළිනොගන්නා අතර සෙස්සන් පිස්සන් බව කියයි. මෙය හරියට තමන්ගේ ආගම මොනතරම් මිත්‍යාවක් වුවත් අනෙක් ආගම් සියල්ල මිත්‍යාවන් බව පවසනවා බඳුය. පෘතුගීසිකාරයා ලංකාවට කිතුනු දහම අරගෙන ආවෙත්, එය බලහත්කාරයෙන් මෙරට තුළ ප‍්‍රචාරය කළේත් මෙරට තිබු බුදු දහම මිත්‍යා දහමක් බව කියමිනි. එය කෙසේ වෙතත් අද මිත්‍යාව කුමක්ද, සත්‍යය කුමක්ද කියා තේරුම් ගැනීමේ හැකියාව බහුතර සාමාන්‍ය ජනතාවට තිබේ. නමුත් මිත්‍යාවක් බව දැන දැනම මිත්‍යාව පිළිගනිමින් සිටින මිනිසුන්ද වෙයි. එය වෙන කැමැත්තකි. පරණ හණමිටි කරගහගෙන යන මිනිස්සුද එහෙමය. තමන්ට වැඩක් නැති වුවත් අනුන්ට වැඩක් නැති වුණත් එය කරගහගෙන යෑම ඔවුන්ගේ අසරණකමය. තමන්ගේ පැවැත්ම තිබෙන්නේ ඒ මතය පිළිගන්නා තෙක් බව ඔවුන් විශ්වාස කරයි. එහෙම අයට අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැත. එහෙම අයට දැනුම කොටා පෙව්වත් ඒවා වැඩ කරන්නේ නැත. කාලය විසින්ම ඒ අයව ක්ෂය කර දමනවා විනා වෙන විසඳුම් ද නැත. එහෙත් මේ අය තමන්ගේ මතය නිවැරදි බව කියමින් අන්‍යයන්ට කරන බලහත්කාරී බලපෑමට පීඩනයට නම් කිසිසේත් ඉඩ දිය යුතු නැත. පිළිලයක් මෙන් වන මේ විසකුරු දේවල් ගලවා දැමිය හැකි නම් එය රටකට සමාජයකට යහපතක්ම විය හැකිය. මන්ද එහෙම කළ රටවල් ලෝකයේ පවතින අතරම අතිශය සංවර්ධනාත්මක තත්වයන් ද අත්පත් කරගෙන තිබෙන නිසාය.

විකුණාගෙන කෑමේ වාසිය

රට විකුණනවාය, විකුණාගෙන කනවාය කියමින් හැමදාමත් ඇහෙන අඳෝනාව නඟන්නෙම, ගෝලීය ආර්ථිකය, දේශපාලනය, සමාජ සංස්කෘතික තත්වයන් සහ ඒ අත්පත් කරගෙන තිබෙන ජයග‍්‍රහණයන් ගැන කිසිවක් නොදන්නා ළිං මැඩි වර්ගයේ අසනීපකාරයන්ය. නමුත් මේ අය තමන්ගේ පැවැත්මට මේ අය කියන ”විකුණාගෙන කෑම” විසින්ම අත්පත් කරගෙන තිබෙන ජයග‍්‍රහණයන් ද යොදාගෙන තිබෙන බවත් අවශ්‍ය නම් පෙන්වා දිය හැකිය. නමුත් මේ අය එය කියන්නේ නැත. එතරම්ම මුන් තක්කඩියන්ය, කුහකයන්ය. කාදිනල් උන්නාන්සේගේ තර්කය විදියට බටහිර ජාතීන්ට මේ රට, මේ රටේ මිනිස්සු විසින් (ඒ කියන්නේ සිංහල ජාතිය බෞද්ධ ආගමිකයන් විය යුතුය* පාවා දීම නිසා විනාශයක් සිදු කර ගෙන තිබේ. ඒ අනුව කිතුනු දහම මේ රටේ මිනිස්සු වැළඳගැනීම මෙන්ම ඒ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් මෙරට භුමියේ ඉඩ කඩක් වෙන්වීමද මේ පාවා දීමේ ප‍්‍රතිපලයකි. එසේ නොවන්න මේ රටේ කාදිනල්වරයකු තබා කිතුනු පූජකයකු හෝ සිටිය නොහැක. කාදිනල්වරයාට රටේ දේශපාලනයට ඇඟිළි ගසමින් රට ගිනි තියන්න අවස්ථාවක්ද නොලැබෙනු ඇත. පාප් වහන්සේ හමුවේ ගතු කියා රටට පමණක් නොව තම ආගමික සංස්ථාවේ සෙසු පූජකයන්ට කෙලවන්න උත්සහ ගැනීමක් වන්නේ ද නැත. නමුත් ඇත්ත කතාව බටහිර ජාතීන් නිසා මේ රටට විනාශයකට වඩා සිදු වූයේ රට ගොඩනැඟීමත් සෙසු ලෝකයා හා සමගාමී සංවර්ධනයක් අත්පත් කරගැනීමත්ය. ඒ සත්‍යය ප‍්‍රතික්ශේප කළ නොහැක. බටහිරයන් නිසා රට බහු වාර්ගිකත්වය පිළිගන්නා, බහුත්වවාදී සාම්‍යයෙන් යුතු රටක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමම ලැබූ දැවැන්ත ජයගග‍්‍රහණයකි. තවදුරටත් ගෝත‍්‍රික ඇවැතුම් පැවැතුම් ඇති ළිංමැඩි වර්ගයේ සුළු පිරිසක් ඉතිරිව සිටියද රටේ සංවර්ධනයට ඔවුන්ගේ නිරන්තර බාධා කිරීම් වුවද සමස්තයක් ලෙස රට පවතින්නේ දියුණුවේ දිශාවට ගමන් කරන ශිෂ්ඨ සම්පන්න රටක් ලෙසය. ඒ විදේශීයයන්ගෙන් ලැබුණු දායදයය. රට විකුණාගෙන කෑවාය කියන කාරණාව පෙන්වා දීමට යොදාගන්නා සිදුවීම් කිහිපයක් පමණක් සලකා බැලූ‍වත් මේ කියන ‘විකුණාගෙන කෑම’ නිසාම රටට අත්පත් වූ දැවැන්ත ජයගහණයන් ගැන ප‍්‍රමාණාත්මක අවබෝධයක්, සිහි බුද්ධියක් නැති පුරවැසියකුට වුව ලැබිය හැකි තරමට එය විශාලය.

සුද්දා මේ රට භාර දී ගියේ හූරගෙන කා හපයක් කර නොවේ. එහෙම හූරගෙන කන්න තරම් දෙයක් රටේ තිබුණෙත් නැත. අනෙක ඒ කාපු දෙයටත් වඩා ප‍්‍රතිලාභ රටට ලබා දී තිබේ. මේ රට ආසියානු ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා වන සැලසුම්, ක‍්‍රමවේදයන්ද, මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් ප‍්‍රවාහනය ඇතුළ යටිතල පහසුකම් ද, මහා කර්මාන්ත, කෘෂිකර්මාන්තය ද, ජාත්‍යන්තර වෙළඳාම, අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පුළුල් සේවාවන්ද ආදී ක්ෂේත‍්‍ර ගණනාවක්ම ඔවුන් ගොඩනැගුවේය. අනාගතය වෙනුවෙන් වන මාර්ග සිතියම ද සකසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක්, ආචාර ධර්ම පද්ධතියක් පමණක් නොව රටේ සංස්කෘතියක් කියා දෙයක් විධිමත්ව සකස්කර දුන්නේද සුද්දා කීවාට වැරදි නැත. ඒ තබා විධිමත් භාෂා භාවිතයක් සකස්කර දුන්නේද සුද්දාය. රටට ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බව පාදා දුන්නේ සුද්දාය. රටේ භූ ගෝලීය වටිනාකම ගැන කියා දුන්නෙත් සුද්දාය. නමුත් සුද්දාගෙන් ලැබුණු දේශපාලන ආර්ථික නිදහස යනු කුමක්දැයිවත් නොදන්නා වුන් සිදුකළේ සියල්ල කාබාසීනියා කරදැමීමය. විජාතිකකරණයෙන්, බටහිර අධිරාජ්‍යන්ගෙන්, යැංකි සංස්කෘතියෙන් රට ගලවාගන්න කියා කළ පිස්සු කෙළීම් නිසා රට බංකොලොත් භාවය දක්වා රැගෙන ආවේය. මේ ඊනියා දේශපේ‍්‍රමින් රටේ ආර්ථිකයේ ප‍්‍රධානම අංශයක් වූ විදේශීය ආයෝජකයන් පන්නා දමන තැනට පත් විය. එම ව්‍යාපාර කර්මාන්ත රජයට පවරාගෙන විනාශ කරගත්තේය. දේශීය පෞද්ගලික අංශයේ හෝ ව්‍යාපාරයක් පවත්වගෙන යෑම අහෝසි කරන තැන දක්වා කටයුතු යෙදුනු කාලවල් තිබිණි.

75 වසරක දියුණුව

එමෙන්ම වඩාත් නිවැරදි ආර්ථික ක‍්‍රමවේදයන් වෙතට යෑමට ඇතැම් යුගවල ගත් උත්සහයන්ද බටහිර ධනවාදී ලිබරල් කුමන්ත‍්‍රණ කියමින් පරාජය කරන්න නිතරම කටයුතු කරන ලදී. ඒ සියල්ල කර අවසානයේ රට බංකොලොත් වූ පසු 75 වසරක සාපය යැයි කියමින් අනෙකෙකුට බැන වදිමින් සිටින පජාත තැනට මේ ඊනියා දේශපේ‍්‍රමින් පත්විය. කාදිනල් උන්නාන්සේගේ ප‍්‍රකාශය ද ඇද වැටෙන්නේ ද මේ ඊනියා දේශපේ‍්‍රමයක් කරපින්නා ගත් ජාතිකවාදීන්ගේ සහ වාමාංශිකයන්ගේ කුලකයටමය.

මේ අයට අනුව කොළඹ වරාය විදේශීය ආයෝජකයන් ලවා සංවර්ධනය කර, රටට විශාල ආදායමක් ගෙන එමින්, ආසියාවේ හොඳම කාර්යක්ෂමම වරායක් බවට පත්කරගැනීම, ලෝකයේ 23 වැනි හොඳම වරාය බවට පත්කර ගැනීම රට විකුණාගෙන කෑමක්ය. එදා වරාය එලෙස සංවර්ධනය කර නොගත්තා නම් කොළඹ වරාය වෙනුවට අදත් පවතින්න ඉඩ තිබුණේ කොළොම්තොට වක්කලමය. හම්බන්තොට වරාය චීන සමාගමකට බදු නොදී, මේක විකුණාගෙන කනවා කියමින් විගඩම් නැ‍ටුවුන්ට අවශ්‍ය ලෙස කටයුතු කළා නම් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවාගත නොහැකිව අද එය චීනයට සින්නකරවම පවරාදීමට සිදු වන්නටත් ඉඩ තිබිණි. කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශ ආයෝජයකයන් ලවා සංවර්ධනය කිරීමට හණමිටි දේශපාලන පක්ෂ, තක්කඩි වෘත්තීය සමිතිකාරයනුත් ඉඩ නොදීමෙන් වරාය තවදුරටත් සංවර්ධනය කර රටට ලැබිය හැකිව තිබු ප‍්‍රතිලාභයන් අහිමි කරගත්තේය. එය රටේ ජාතික සම්පතක් කියමින් බදාගත් අතර එහි සංවර්ධනය ඇණහිට තිබේ. වත්මන් රජයට ඒ වෙනුවෙන් යළි ආයෝජකයන් සොයන්නට සිදුව තිබේ. ඒ අතර බටහිර ජැටිය විදේශ ආයෝජකකුට දීමට ගත් උත්සාහයත් වැලැක්වීමට ජරමර ගොඩක් කළ නමුදු ඊට විදේශ ආයෝජකයකු ගෙන්වා ගැනීමට, රටේ වාසනාවට සමත් විය. මෙම ආයතන සංවර්ධන ක‍්‍රියාවලිය යනු බදු දීමේ හෝ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධතාවය පදනමින් හෝ සීමාසහිත කාලයකට ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීම විනා විකුණා දැමීමක් නොවේ. මන්ද ඒ වැය බර රටට දරන්න අපහසු නිසාය. එහෙත් ළිං මැඩියන් සිතන්නේ ඒවා විකුණා දමන බවය. නිකම් මලකඩ කකා තිබු ත‍්‍රි’මලේ තෙල් ටැංකි සමූහයෙන් වැඩක් ගන්න ආයෝජකයන් කැඳවන විටත් කීවේ ජාතික සම්පත් විකුනාගෙන කන බවය. ත‍්‍රි’මලේ තෙල් ටැංකි කිහිපයක් හෝ බදු දීමට කටයුතු කිරීමෙන් රටේ බලශක්ති ප‍්‍රශ්නය යම්තාක් දුරකට විසඳාගෙන අමතර ආදායමක්ද රජයට උපයාගැනීමට හැකිව තිබේ. ඉතිරි ටැංකි ප‍්‍රමාණයත් එවැනි ආකාරයේ විදේශ ආයෝජකයන් වෙත බදු දී රටට ප‍්‍රතිලාභ අත්පත් කරගැනීමට කටයුතු කළ යුතුව තිබෙන්නකි. මෙරට පැවැති තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට තීරණය කළ මොහොතේ නටපු ජොගිය අනුව එය අකුළාගැනීමට එදා රජය පියවර ගත්තා නම් තවමත් දුරකතන සම්බන්ධතාවයක් ලබා ගැනීමට වසර ගණනක් පෝලිමේ ළගින්න වීම වෙනු ඇත. සාම්පුර් ගල් අඟු‍රු බලාගාරය ගොඩනැගීමට ඉඩ නොදී ඒ වලක්වාලීම රටේ විදුලි අර්බුදයකට හේතු වූ බව අමුතුවෙන් කිව යුතු නැත. මන්නාරම සුළං සහ සුර්ය විදුලි බලාගාර වෙනුවෙන් විදේශ අයෝජකයන්ට ඉඩකඩම් ලබාදෙන විටත් රට විකුණාගෙන කෑමක් ලෙස කියැවිනි. කොටින්ම ඉන්දියාවෙන් නොමිලයේ ලැබුණු සුවසැරිය ගිලන් රථ ටිකද ආපසු හරවා යවන්නට තරම් මේ ළිංමැඩියන් ටික වලි කෑවේය. එතරම්ම සාහසික මුග්ධ තැනකට මේ අය ඇද වැටී තිබිණි. මේ ආකාරයෙන් තවත් උදාහරණ රැසක් සටහන් කළ හැකිය. විදේශ ආයෝජකයන් කැඳවීම, රජයේ දේපොළක් බදු දීම, රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ ව්‍යාපාර කිරීම, පෞද්ගලිකකරණය කිරීම ආදී ක‍්‍රමවේද ළිංමැඩි මානසිකත්වයේ සිටින වුන්ට තේරුම් යන්නෙම විකුණනවා ලෙසය. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ ලෙසය. ඇත්තමට අසනීපය මෙයය.

ඉන්දියාව නැතුව බැරිවීම

පසුගියදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙරට සංවර්ධන යෝජනා ක‍්‍රම ගණනාවක් වෙනුවෙන් ඉන්දියාවේ ආයෝජකයන් ගෙන්වාගැනීම වෙනුවෙන් වැදගත් මෙන්ම දැවන්ත පියවරක් ගැනීමද මේ මැටි මොල් ළිං මැඩියන්ට පෙනුනේ රට විකුණාගෙන කෑමක් ලෙසය. ජාතිකවාදී පදනමක සිට ඉන්දියානු විරෝධයක්ද ඒ වෙනුවෙන් යළි ගොඩ නැගීමටද කටයුතු කෙරිනි. එම යෝජනාවලට සමගාමීව ඉන්දියාව සහ ලංකාව යා කරමින් මන්නාරම් ද්‍රෝණිය හරහා රාම සේතු ගොඩබිම් මාර්ගය ඉදිකිරීම ගැන යෝජනාවට කාදිනල් උන්නාන්සේ පරළව ඇත්තේ රට ඉන්දියාවට විකිණීමට යනවා කියන තේරුමෙනි. කාදිනල් දන්නා ආර්ථිකයක් දේශපාලනයක් නැතැයි කියා මේ බහුබූත කතන්දර නිකම්ම කසල ගොඩකට විසිකර දැමිය හැකි වූවත් මෙතැන ඇත්තේ වෙන කතාවකි. ජනාධිපතිවරයාට සහ රජයට එරෙහි වී රට ආරාජිකකර යළි බංකොලොත් කිරීමේ දහදුරා වුවමණාවය. ඒ තමන්ගේ පැවැත්ම, බඩගෝස්තරය වෙනුවෙන් කරන මජර දේශපාලනයයි. මිනිස්සු යථාර්ථය සමඟ අනුගත වෙන තරමට ලෝකය අවබෝධ කරගන්නා තරමට තමන්ගේ ජාරාජීර්ණ තක්කඩි පැවැත්ම අහෝසි වන බව  ඕනෑම ආගමික නායකයෙක් දන්නා සත්‍යයය. ජාතිකවාදී සහ වාමාංශික ළිං මැඩියන්ගේ තත්වයද මෙයමය.

ලෝක යථාර්ථය ගැන යම් අවබෝධයක් තිබේ නම් ලංකාවේ අනාගතය පවතින්නේ ඉන්දියාව ප‍්‍රමුඛව මෙරට මිතුරු රාජ්‍යයන්ගේ සහයෝගය සහ ඒකාබද්ධවීම් සමඟ වන ගමනකදී පමණක් බව පැහැදිලිව පෙනෙනු ඇත. අද ගෝලීය තත්වයන් සැලකීමේදී ඉන්දියාව යනු ගෝලීය වශයෙන් බලවත්ම රාජ්‍යයකි. ලංකාව යනු එදා තිබුණාටත් වඩා පහළ අඩියකට ඇද වැ‍ටුණු දුර්වල රාජ්‍යයකි. තනියෙම නැගිටීමට නොහැකි බව ඔප්පු කළ රාජ්‍යයකි. කටවාචාලකම් තිබුණාට උද්දච්චකම් තිබුණාට, පස්ස කහගන්න නියපොත්ත නැති රටක් බවට පත්ව තිබේ. රට බංකොලොත් වී කරකියාගන්න දෙයක් නැතිව සිටියදී බඩගින්නේ නොමැරී සිටීමට ආධාර දුන්නේ, අත හිත දුන්නේ ඉන්දියාව ප‍්‍රමුඛව විදේශ රාජයයන් කිහිපයක් විසිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටේ ආර්ථිකය යළි සකසා දීමට අවශ්‍ය පියවර නොගත්තා නම් කොහොමටවත් යළි නැගීටිමක් වන්නේ නැත. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ නොවන්නට ජාත්‍යන්තරයේ සහය ලබාගැනීමවත් සිදුවන්නේ නැත. මොකද රටේ හිටපු ළිං මැඩියන්ට එහෙමවත් ජාත්‍යන්තරයේ සහය ලබාගැනීමක් ගැන අවබෝධයක් තිබුණේ නැති නිසාය. බාහිර ලෝකය ගැන නොදන්නාකම නිසාම බාහිරෙන් පැමිණෙන දෙයට මේ අය බයය. නමුත් ජීවිතය බේරාගැනීමට නම් ඒ සහය හැර වෙනකක් නොමැති තත්වයන් හමුවේ අවදානම භාරගෙන විශ්වාසයෙන් යුතුව ඒ සහය පැතිය යුතු විය. ඒ සඳහා හයියක් තිබුණේ එක් මනුස්සයකුට පමණි. ඔහු අද එම ව්‍යායාමයෙහි සාර්ථකත්වන් අත්පත් කරගනිමින් සිටී.

මිනිස්සු ඉල්ලන මාර්ගය

කොහොම නමුත් මේ යන්තම් වලකින් ගොඩ ආවා විතරය. තව බොහො දුරක් යා යුතුව තිබේ. එහෙත් යළි වළේ නොවැටී සිටීමට නම් ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් ඉදිරි ගමන යායුතුව තිබේ. ලෝකයට විවෘත විය යුතුය. ලෝකයේ සිව් දිසාවටම මාර්ග විවෘත කරගත යුතුය. සීමාවන් බිඳ දමා සම්බන්ධතා ගොඩනැගිය යුතුය. තාප්ප වෙනුවට පාලම් ඉදි කළ යුතුය. කාදිනල් උන්නාන්සේගේ ආගමික නායකයා වන පාප් වහන්සේ මීට වසර කිහිපයකට පෙර අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙක්සිකෝ දේශ සීමාව හරහා මහා තාප්පයක් බැදීමට යෝජනා කරන විට ඊට බරපතල ලෙස විරුද්ධ වෙමින් කීවේ භීතිය වපුරන තාප්ප තනන්නේ මිනිසුන් බෙදා කො‍ටු කිරීමට බවය. තාප්ප වෙනුවට පාලම් ගොඩනැගිය යුතු බවත්ය. නමුත් තමන්ගේ ආගමික නායකයා එසේ කීවද කාදිනල් උන්නාන්සේ කියන කතාවේ හරය පාලම් කඩා බිඳ දමා තාප්ප තනා මිනිසුන් මේ දූපත තුළ කො‍ටුකර තැබීම විය යුතු බවය. එහෙම නොකිරීම අසනීපයක් බවය. ඒ අනුව පාප් වහන්සේත් බරපතල අසනීපකාරයෙකි.

රට දිනෙන් දිනම සංවර්ධනයේ යම් යම් ප‍්‍රතිලාභ අත්පත් කරගනිමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන තත්වයන් හමුවේ මේ ළිං මැඩි කතන්දර පිළිගන්නා මිනිස්සුන්ද ක‍්‍රමයෙන් ක්ෂය වෙමින් තිබේ. මේ රටට කෙලවී ඇත්තේ මේ ළින් මැඩි තර්ක සහ මෝඩ ක‍්‍රියාමාර්ග නිසා බවටත් මේ රටේ මිනිස්සුන්ට අවබෝධය ලැබෙමින් තිබේ. මෙවැනි මුග්ධ කතාවලට සමාජයෙන් දැඩි ප‍්‍රතිචාරයන් අද ලැබෙමින් පවතින බවත් සමාජ මාධ්‍ය අසුරු කිරීමෙන් පැහැදිලි වැටහීමක් ලබාගත හැකිය. මේ රටේ මිනිස්සු බලා හිඳින්නේ තවදුරටත් දුපතට කො‍ටු වී ළිං මැඩි ජීවිතයක් ගත කිරීමට නොවේ. දුපතෙන් එහා මහා විසල් ලෝකයක් පවතින බව මිනිස්සුට වසං කළ නොහැක. ඒ ලෝකය මේ රටට විවෘත විය යුතුවීම රට වැසියාගේ අභිලාශයය. මිනිස්සු රට අත්හැර යන්න පෙළඹී ඇත්තෙත් රට ලෝකයට විවෘත්ත නොවීම නිසාය. ලෝකය අත්පත් කරගෙන තිබෙන සංවර්ධනය තවදුරටත් ප‍්‍රමාද නිසාය. කාදිනල් උන්නාන්සේ සිතාගෙන සිටින්නේ මේ රටේ මිනිස්සු තවමත් එක එක ජඩයන්ගේ ගොබ්බ කතා පිළිගන්නා තරමට ළිං මැඩියන් බවය. උන්නානසේ රාම සේතු පාලම ගැන ජනමත විමසුමක් තැබිය යුතු බව කියන්නේ ඒ නිසාය. එවැනි විමසුමක් පැවැතුනහොත් රටේ සාතිශය බහුතරය පාලම තැනිය යුතු බවට කැමැත්ත ප‍්‍රකාශ කිරීම ගැන සැකයක් නැත. අඩුම තරමින් මෙවැනි කතාවක් කරන්න කළින් තමන්ගේ අහල පහළ සිටින මිනිස්සුන්ගෙන්වත් ඇසුවා නම් මෙච්චරටම ඒ උන්නාන්සේ පීචං වන්නේ නැත.

රටට ලැබෙන විදේශ ආයෝජන, මේ රට විකුණාගෙන කෑමක්ය කියන මරිමෝඩ කතන්දරය අද සිහි බුද්ධියක් ඇති මිනිහෙක් පිළිගන්නේ නැත. ලෝකයට විවෘත නොවීමේ විපාකය අද තමන් විඳින බව බහුතරයක් මිනිස්සුන්ට තේරුමක් තිබේ. මෙය ඉන්දියාවේ හෝ ප‍්‍රාන්තයක් විය යුතු බවත් ඇතැමුන් කියන්න පෙළඹී ඇත්තේ ද ඒ නිසාය. කොහොම නමුත් මේ ගෙවෙන්නේ රටට විදේශ ආයෝජකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගත යුතු කාලයකි. රටෙ ආර්ථිකය ගොඩදා ගැනීමට නම් ඒ අත්‍යාව්‍යශය. ඒ වෙනුවෙන් තිබෙන බාධක අහෝසි කිරීමක් හෝ ලිහිල් කිරීමක් විය යුතුය. පහසුකම් සැලසිය යුතුය. කාර්යක්ෂම කළ යුතුය. නවසිය අනූව දශකයේදී ඉන්දියාව බංකොලොත් වන තත්වය කරා ඇද වැ‍ටුණු විට ඉන් ගොඩ ආවේ බරපතල ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසාය. ළිං මැඩියන්ගේ කතන්දර පසෙකලා ළිෙ`දන් ගොඩ ඒමට පියවර ගත් නිසාය. අද සඳ අල්ලන තරමට ඉන්දියාව ශක්තිමත් වී ඇත්තේ ඒ නිසාය. රට විකුණන්නේ නැතැයි කියමින් විදේශ ආයෝජන වලට ඉඩ දෙන්නේ නැතැයි කියමින් රට වහගෙන හිටියා නම් ඉන්දියාව අදත් ලෝකයේ ලොකුම මුඩුක්කුවක් වීම හැර වෙනකක් වීම වන්නේ නැත. මෑත කාලයේ සංවර්ධනයේ හිණිපෙත්තට නැ`ගි රටවල් සියල්ලේම කතන්දරය එක හා සමානය. සියල්ල ඒ පෙළහර පැවේ විදේශ ආයෝජන නිසාය. අද කටාර් වැනි රාජ්‍යයක් තමන්ගේ රටේ භුමියේ කොටස් සින්නක්කරව හෝ විදේශ සමාගම්වලට පවරන්නේත්, කිසිදු බදු පැනවීමකටත් යටත් නොකර විදේශ ආයෝජකයන්ට විවෘත කරන්නට තීන්දු අරගෙන ඇත්තේ රටේ සංවර්ධනයට ඇවැසි වේගවත් මාර්ගය විවෘත කරගැනීම වෙනුවෙනි. ඩුබායි රාජ්‍යය ලෝකයේ සුරපුරයක් වන්නේ විදේශ ආයෝජන නිසාය. මලයාසියාව, සිංගප්පුරුව, දකුණු කොරියාව සංවර්ධනයේ ඉහළටම ආවේ විදේශ ආයෝජන නිසාය. තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය ගත්තත් එසේය. ද්‍රරිද්‍රතාවයෙන්, සිවිල් යුධ තත්වයන්ගෙන් බැට කෑ රාජ්‍යයන්ව පැවැති ඉතියෝපියාව, රුවන්ඩාව වැනි රාජ්‍යයන් දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගනිමින් සිටින්නේ විදේශ ආයෝජනයන් නිසාය. ලෝකයේ දුප්පත්ම රාජ්‍යයන් විශාල ප‍්‍රමාණයක් පවතින බටහිර, මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යයන් ගණනාවක්ම අද සංවර්ධන යුගයකට පිවිසෙමින් සිටින්නෙ විදේශ ආයෝජන නිසාය.

එහෙත් තවමත් ශ‍්‍රී ලංකාව ආයොජකයන් ගෙන්වා ගැනීම ගැන බියෙන් සිටී. එසේම ආයෝජකයන්ද මෙරටට පැමිණිමේ බියෙන් පසුවේ. ඒ එල්ලවිය හැකි විරෝධයන්, පීඩාවන් සහ රටට අවේනික දුර්වලතා හා බාධක නිසාය. කොන්ද පණ ඇතිව තීන්දු තීරණ ගත් ජේ.ආර්. ජයවර්ධන යුගයේදී නිදහස් වෙළඳ ආයෝජන කලාප ඇති කරමින් විදේශ ආයෝජකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමට ගත් පියවරයන්ටද එදා මෙරට ළිං මැඩියන් විරුද්ධ විය. විදේශ ආයෝජන ලෙස ඇඟලූ‍ම් කම්හල් ඇරඹීමට විරුද්ධ වූයේ සුද්දන්ට ජංගි මහන්න හදන්වා කියමිනි. නමුත් ඒ ජංගි මහන්න එදා තීරණය නොකළා නම් මොකද වෙන්නේ කියන එක අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අද රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන්නේ මේ කියන ජංගි කර්මාන්තයෙනි. විදේශ ආයෝජන ලෙසින් පැමිණ ව්‍යාපාර රට තුළ ඇතිවෙන විට මෙරට පෞද්ගලික අංශයද හරි හරියට එම ව්‍යපාර ක්ෂේත‍්‍රයට තර`ගයක් දෙමින් පිවිසිනි. අද ලෝකයේ නමක් දරාගෙන කරක් ගැසීමට තරම් මෙරට දේශීය ව්‍යාපාර ගණනාවක් මේ නිසා දියුණු විය. විදේශ රටවල ආයෝජනය කරන්න තරම් දියුණු විය. මෙරටට ලැබෙන විදේශ අයෝජනවල වාසිය ඒ මොහොතේ ලැබෙන දෙය පමණක් නොවන බව මෙම ඇඟලූ‍ම් කර්මාන්තය බිහිවීම ආශ‍්‍රයෙන්ම තේරුම් ගත හැකිය. කොළඹ වරාය දියුණු වන විට ඒ ආශ‍්‍රිතව කර්මාන්ත ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් බිහිවිය. අපනයන කර්මාන්ත බිහි වීමට රුකුලක් විය. 70-77 කාලයේ රට වහගෙන නටපු ජෝගිය නිසා එතෙක් පැවැතුන රජයේ කර්මාන්ත අඩක් පමණ විනාශ විය. අපනයන කර්මාන්ත නැත්තටම නැති විය. අපනයන වෙළදාමේ ප‍්‍රධාන බෝග වූ තේ වගාව සියයට 10කින් පමණත් පොල් වගාව සියයට 15කින් පමණත් හැකිලිණි. පෞද්ගලික අංශය මුළුමන්මනිම අහෝසි වන තැනට පත් විය. නමුත් රට ලෝකයට හැකි පමණින් යළි විවෘත කිරීමට ගත් පියවර නිසා මෙරට දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුනර්ජීවනයක් ඇති විය. අපනයනය කිහිප ගුණයකින් දියුණු විය. මෙම කාල සීමාවල සංඛ්‍යා දත්ත පරික්ෂා කිරීමේදී සැබැවින්ම දේශීය කර්මාන්ත, ව්‍යපාරයන් සීග‍්‍රව දියුණු වූයේ 77න් පසු යුගයේදී බව තහවුරු කරගත හැකිය. විදේශීය ආයෝජකයන් විශාල ප‍්‍රමාණයක් මෙරට පැමිණ රටේ සංවර්ධනයට දායකවීම මේ දේශීය ආර්ථිකයේ දියුණුවට හේතු විය. එය එම යුගයේ සුවිශේෂත්වයකි. එදා පටන් ගත් ඒ ගමන, ඒ නියම පාරේ රැගෙන යාමට පසුව පත් වූ පාලකයන් සමත් වූවා නම්, ජනතාව ඊට අනුගත වුවානම් අද මෙහෙම ලියැවිලිවලට ඉඩක් ලැබෙන්නේ නැත. එසේ නම් වියමන් කරන්නට තිබුණේ ලෝකය අල්ලන හැටි ගැනය, සඳ අල්ලන හැටි ගැනය. ඒත් අවාසනාවකට ළිං මැඩියන්ගේ අඳෝනා, ගොන් කතා, පාහරකම්වලට උත්තර බඳින්නට සිදුව තිබේ.

ජයතුංග බණ්ඩාර

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු පුවත්