සංග්‍රාමික පැරෂූට් ඉසව්ව සාර්ථක කළ පළමු හමුදාපති විකුම්

0

“ගුවන් යානයෙන් මිදුනු මොහොතේ සිට පොලවට පතිත වන තෙක් එම කෙටි කාලය මාගේ ජීවිතයේ නවතම අත්දැකීමක්. මම සැබවින්ම එම කෙටි කාලය තුල තෘප්තියක් ලැබුවා. කුරුල්ලෙක් ලෝකය දකින විදිහ කොච්චර ලස්සනද කියන හැඟීම මට ඒ වෙලාවේ ලැබුණා. අපි ගුවන් යානයකදී වටපිටාව දකින විදිහටත් වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් ඒක. “

මේ අත්දැකීම අපිට විස්තර කරන්නේ අභියෝගාත්මක පැරෂූට් පැනීම් සිදුකළ සුවිශේෂි චරිතයකි. ඔහු අන් කවරෙකුත් නොව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේය. පසුගියදා ඔහු උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පැනීම් සිදුකළේය.

පැරෂූටයකින් බිමට පැනීම පහසු කටයුත්තක් නොවේ. එය මනා පුහුණුවකින් පසු මනා සංයමයකින් යූතුව කළ යුත්තකි. සාමාන්‍යයෙන් මෙවැනි පැරෂුට් පුහුණු සහ පැරෂුට් පැනීම් සඳහා යොමුවන්නේ නිලධාරියෙකු හෝ සෙබළෙකුගේ තරුණ කාලයේ දීය. යුද්ධයේදී සතුරු භූමිය වෙත ළඟා වී සතුරාගේ ඉලක්ක විනාශ කරමින් සතුරාට අභියෝග කිරීමත්, සතුරා පුදුම කරවන අන්දමේ ප්‍රහාර එල්ල කිරීම මඟින් සතුරාට සිතාගත නොහැකි විනාශයක් අත්කරදීම සඳහා විවිධ උපක්‍රම භාවිත කෙරේ. එලෙස සතුරු භූමියේ සංග්‍රාමික ක්‍රියාන්විත සිදු කිරීම සදහා උපක්‍රමිකව යොදාගන්නා සුවිශේෂි හමුදා කණඩායමක් ලෙස සංග්‍රාමික පැරෂුට් භටයින් හැදින්විය හැක.

මූලික පැරෂුට් පාඨමාලාව පියවර තුනකින් සමන්විත වන අතර, එය වැඩ කරන දින 30කදී අවසන් කිරීමට හැකි වෙයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉතාම සුළු පිරිසකට පමණක් පැරෂුට් පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවෙයි. ඒ සඳහා ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්තවීඹ අනිවාර්යය. මූලික පාඨමාලාවේදී අඩි 1000 – 1200 අතර ඉහළ අහසේ සිට පැරෂුටයක් ආධාරයෙන් පොළවට පතිත වන නමුත් නිදහස් ආර පැරෂුට් පැනීමක දී ඒම උස අඩි 10000 සීමාව දක්වා ඉහළ යයි. ඒසේම පාත්ෆයින්ඩර් පාඨමාලාවේදී ජලය මතට පැරෂුට් පැනීම් පුහුණු කරයි. මේ කවර ආකාරයක පැරෂුට් පැනීමකදීවුවත් පතිත කලාපය, සුළඟේ දිශාව සහ වේගය, කාලගුණ තත්ත්වය, ගුවන් යානය ගමන් කරන දිශාව මෙන්ම වේගය ආදී සෑම කරුණක් කෙරෙහිම අවධානය යොමු කළ යුතුයමේ සඳහා සහභාගී වන්නන්ගේ කැමැත්ත කෙසේ වුවද ඔවුන්ගේ මානසික මට්ටම, සෞඛ්‍ය තත්ත්වය ආදිය නිරන්තරයෙන් සොයා බැලේ. විශේෂයෙන්ම මෙහිදී මූලික පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සියලු දෙනා පිමි 5ක් පැනිය යුතු වේ.

කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැලේදී පැරෂුට් පැනීම් පුහුණු කරන අතර ඒහි දී මුලික පැරෂුට් පාඨමාලාව,ජම්ප් මාස්ටර් පාඨමාලාව, පැරෂුට් එතීම හා නඩත්තු කිරිමේ පාඨමාලාව, නිදහස්ආර පැරෂුට් පාඨමාලාව, පාත්ෆයින්ඩර් පාඨමාලාව, සහ පැරෂුට් ආශ්‍රිත අනෙකුත් වැඩමුලු ත්‍රිවිධ හමුදාවේ සමාජිකයින් සදහා පවත්වනු ලබයි. එසේම විදේශීය හමුදා සාමාජිකයින්ද කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසැලේ දී පුහුණුව ලබති. මේ ලබන පුහුණුවෙන් අනතරුව සාර්ථකව පැනීම් කරන පැරෂුට් භටයන්ට ජාත්‍යන්තරව පිළිගන්නා පදක්කමක් පළඳවන අතර ඉන් පසු ඔවුන්ට දේශීය හෝ විදේශීය ගුවන් සංග්‍රාමික කටයුතුවල නිරත වීමේ අවස්ථාව උදාවේ.

පැරෂූට් පැනීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිවරයා තුළ තිබූ නොතිත් ආශාව සහ ඔහු ඒ වෙනුවෙන් සූදානම් වූ ආකාරය ඔහුගේම වචනවලින් අප සමඟ පැවසීය.

“මම කපිතාන්වරයෙක් විදිහට ඉන්දියාවේ පූනාවල ශාරීරික උපදේශක පාඨමාලාව අවසන් කරලා ලංකාවට ආවට පස්සේ පැරෂූට් පුහුණුව සඳහා මම ඉල්ලුම් කලා. නමුත් මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ඒ වෙලාවෙ මට හොඳ ශෘරීරික යෝග්‍යතාවයක් තිබුණා ඒ පුහුණුව සඳහා. ඒත් මම මේ ගැන තියෙන උනන්දුව අඩු කරගත්තේ නෑ. මේ පාඨමාලාව සඳහා කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් වගේම පාබල සේනාංකවල දක්ෂයින් යොමු වෙනවා. ඒ අය තමන්ගේ පුහුණුව අවසන් කරලා පැරෂුට් භටයෙක් විදිහට සුදුසුකම් සම්පූර්ණ කරනවා දකිද්දි මගේ ඒ සඳහා තියෙන ආශාව වැඩි උණා. ඒ වගේම ඒ සඳහා අවශ්‍යය ශාරීරික යෝග්‍යතාව ගැන සැලකිලිමත් උණා. ඒ දේවල්වල ප්‍රථිඵලයක් විදිහට තමයි මම මේ පැරෂුට් පැනීම් සිදුකරනවා කියන තීරණය ගත්තේ. “

කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසැලේදී පැරෂූට් පැනීමේ කුසලතාවය යුද්ධ හමුදාදිපතිතුමන් විසින් ප්‍රගුණ කළ අතර ඔහු සමඟ මෙවර පැරෂූට් පැනීම් සඳහා දේශීය මෙන්ම විදේශීය පැරෂුට් භටයන් නිහිප දෙනෙකුද ඒක්ව සිටියහ. අඩි දහස් ගණනක ඉහළ අහසේ සිට මහපොළව වෙතට පැමිණීම තරුණයෙකුට අභියෝගයක් වන්නේ කෙසේද මැදිවියේ පසුවන්නෙකුට ඒය ඊට වඩා දැවැන්ත අභියෝගයකි. නමුත් යුද්ධ හමුදාධිපතිතමා ඒ අභියෝගය ජයගත්තේ තරුණයින්ට ආදර්ශයක්ද සපයමිනි. ඔහු තම අත්දැකීම පිළිබඳ ඇති වූ හැඟීමේ අප සමඟ පැවසුවේ මෙසේය.

“යුද්ධ හමුදා ජීවිතයේදී අවධානම් ගැනීමේ අවශ්‍යතාවය, සියලුම නිලයන් හට මනා ශාරීරික සෞඛ්‍ය පවත්වා ගැනීමේ වැදගත්කම, කැපවීම, ඒ වගේම ඕනෑම අභියෝගයකට නොපැකිලිව මුහුණ දීමේ හැකියාව වර්ධන කරගැනීමේ වැදගත්කම වගේ දේවල් මම ඔවුන්ට මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි නිසි ඉලක්කයක් වෙනුවෙන් එක අරමුණක කටයුතු කරනවානම් බාහිරින් එන සෑම බලවේගයක්ම පරාජය කරමින් අපේ ඉලක්කය අපිට ජයගන්න පුළුවන් කියන දේ මම ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.ඇත්තටම මේක මම සලකන්නේ නායකත්වය, ආත්ම විශ්වාසය, නිර්භීතභාවය, මෙහෙයුම් සූදානම, ශාරීරික යෝග්‍යයතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් මම ගත්තු හොඳම තීරණයක්. “

මේ වන විට සිය දිවි ගමනේ පනස් හත්වැනි සැතපුම් කණුව පසුකරමින් සිටින ඔහු තරු තුනේ ජෙනරාල්වරයකු හෙවත් ලුතිතන් ජෙනරාල්වරයෙකි. එපමණක් නොව දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාය. එවැනි තනතුරක හිඳිමින් මෙවැනි අභියෝගාත්මක තීරණයක් ගැනීමම අගය කළයුතුය. ලෝක ඉතිහාසයේ යුද්ධ හමුදාධිපතිවරයෙකු සංග්‍රාමික පැරෂුටයකින් පැනීම් සිදුකරන්නේ පළමුවතාවටය. ලෝකයේ දියුණුම යුද තාක්ෂණයක් ඇති රටක යුද්ධ හමුදාධිපතිවරයෙකුවත් නොගන්නා තීරණයක් ඔහු ගන්නේ ඒ පිළිබඳ දැඩි ආත්ම විශ්වාසයක් ඇතිවය. එය ඉතා වැදගත්ම කරුණකි. ඒ අත්දැකීම ඔහු වචනවලට පෙරළා කීවේ මහත් අභිමානයකිනි.

“එ්ක මට අලුත්ම හැඟීමක්. අවධානම, ආත්ම විශ්වාසය, ජයග්‍රහණය වැනි හැඟීම් කිහිපයක සංකලනයක්. මම මේ පැරෂූට් පිම්ම ආරක්ෂිත පතිත කලාපයක් වෙත සිදුකලත්, පැරෂුට් සොල්දාදුවන් මෙවැනි පිම්මක් අවධානමින් පිරුණූ යුධ භූමියකට සිදුකිරීමේදී ඔවුන්ට ඇතිවන්නේ මොන ආකාරයක හැඟීමක්ද කියන දේ මට පුද්ගලිකවම අත්දැකිමට හැකි වුනා.ගුවන් යානයෙන් මිදුනු මොහොතේ සිට පොලවට පතිත වන තෙක් ඒ කෙටි කාලය මගේ ජීවිතයේ නවතම අත්දැකීමක්. මම සැබවින්ම කෙටි කාලය තුල තෘප්තියක් ලැබුවා. ” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කලේය.

මේ පැරෂූට් පැනීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයක් දිනාගත් සිදුවීමක් වන්නේ හේතු කීපයක් නිසාය. ලුතිතන් ජෙනරාල් නිලය දරමින්, යුද්ධ හමුදාධිපතිවරයෙකු ලෙස රාජකාරියේ යෙදී සිටින අතරතුර පැරෂූට් පැනීමේ හැකියාව ප්‍රගුණ කර එම සුදුසුකම සම්පූර්ණ කළ සක්‍රීය සේවයේ නිරතව සිටින එකම පුද්ගලයා ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේය. එසේම සංග්‍රාමික පැරෂූට් ඉසව්වකට සහභාගී වී සාර්ථකව පැනීම් සිදුකළ වයසින් ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියාද එතුමන්ය. එය අප රටට ආඩම්බරයකි. අභිමානයකි.

සංග්‍රාම භුමියේ දී සෑම නිලයක්ම තරුණය යන කියමන සනාථ කරමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ සිදුකළ මේ පැරෂුට් පැනීම හරහා තරුණ්‍යයට ලබා දෙන පණිවිඩය අතිවිශිෂ්ඨය. එය ඔහුගේම වචනයෙන් කීවේ මෙසේය.

“ජීවිතය කියන්නේ හැමදාමත් අභියෝගයන් සහ අවදානම් පිරුණු මාර්ගයක්. මේ මාර්ගයේ ගමන් කරද්දී මේ හැම දේකටම සාර්ථකව මුහුණ දීලා ජයගන්න අවශ්‍ය ශක්තිය වර්ධනය කරගන්න පුලුවන්. අපි විසින් අප තුල පවතින නිසඟ හැකියාවන් හදුනාගෙන ඒවා ඔප්නංවාගෙන ජීවිතයට මුහුණ දෙන්න අධිෂ්ඨානය කරගතගොත් අපේ ජීවිත වලට එන අභියෝග ජයගන්න එක අපහසු නැහැ. යි “යුද්ධ හමුදාධිපතිවරයා අප සමඟ පැවසූවේය.

දිලංක ගුණතිලක

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *