රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට රජය සූදානම්..! කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා
පුරන් කුඹුරු අක්කර 11,000ක් යළි වගා කිරීමට පියවර
ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස පුරන් කුඹුරු අක්කර 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා රජය රුපියල් මිලියන 420ක් වෙන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
මේ වන විට ඉන්දියාව, පාකිස්තානය යන රටවල් සහල් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඔවුන් එම පියවර ගෙන තිබෙන්නේ ඉදිරියේදී ඇති විය හැකි බවට විශ්වාස කරන, ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහායි. ඉන්දියාව සහල් අපනයනය නවතා තිබෙන නිසා ඇතැම් රටවල් මේ වන විට සහල් අර්බුදයකට පවා ලක්ව සිටිනවා.
එම නිසා රටක් ලෙස අපද මෙම අර්බුදයට මුහුණදීමට සූදානම් විය යුතුයි. රටේ කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීම රජයකට තනිවම සිදුකළ නොහැකියි. ඒ සඳහා සියලු දෙනාගේම සහාය අත්‍යවශ්‍යයි. ඒ අනුව මෙරට පුරන් කුඹුරු යළි වගා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අක්කර 11,000ක් අස්වැද්දීමට කටයුතු කරනවා. මේ සඳහා රජය රුපියල් මිලියන 420ක් වෙන් කර තිබෙනවා.
රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5%ක් ලබා දෙන්නේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයෙන්. කෘෂිකාර්මික රටක් ලෙස රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන මෙම දායකත්වය, මීට වඩා ඉහළ අගයකට නංවාලීමට අවස්ථාව තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සහන රැසක් ලබා දී තිබෙනවා. පොහොර සහනාධාර ලබා දුන්නා. ඒ හේතුවෙන් පසුගිය කාලයට වඩා මේ වන විට මෙරට සහල් නිෂ්පාදනයේ යම් වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම ගොවීන්ගේ වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය විධිමත් කිරීමට ද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වෙනවා. මේ වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි ගණනය කර තිබෙනවා. ඒ නිසා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක අතිරික්තයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වනු ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. බීර නිෂ්පාදනය වෙනුවෙන් සහල් තොග නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
සහල් නිෂ්පාදනය වැඩි කිරීමට සමගාමීව අතිරේක බෝග වගාව වැඩිදියුණු කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අය වැය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කෘෂිකාර්මික කේෂ්ත්‍රයට නවීන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර තිබෙනවා.
මෙරට තරුණ ප්‍රජාව කෘෂිකාර්මික අංශයට නැඹුරු කරලීමේ අරමුණ ඇතිව තරුණ ව්‍යවසායකත්ව කෘෂි ගම්මාන පිහිටුවීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මකයි. ප්‍රයෝජනයට නොගන්නා රජය සතු ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා තරුණ පිරිස්වලට ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.
ඒ වගේම කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සංශෝධන සහිතව කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතිනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියෙන් තුළින් මෙරට කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කිරීමට හැකියාව තිබෙනවා.