සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

0

සියලුම ක්ෂේත්‍රවල රැකියා කරන ශ්‍රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

ජාතික වශයෙන් ක්‍රියාත්මක පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදය සකස් කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇත.

මේ වන විට සීමිත ක්ෂේත්‍ර කිහිපයක් පමණක් ආවරණය වන කුඩා පරිමාණයේ සමාජ ආරක්ෂණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක වන නමුත්, ඒවායේ පවතින දුර්වලතා මගහරවන ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීමට කටයුතු කරනු ඇත.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සදහා අමාත්‍යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් පසුගියදා ඉන්දුනීසියාවේ සංචාරය කළ අතර මේ වන විට එරට තුළ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු කරනු ලැබීය.

ජපන් රජයේ සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහයෙන් ඉන්දුනීසියානු සමාජ සුබසාධන ක්‍රමවේදය පිළිබද අධ්‍යයනය කළ නියෝජිත කණ්ඩායම එම ක්‍රමවේදය ලංකාවට අනුගත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ලැබුවේය. නව විරැකියා රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදෙමින් විධිමත් සහ අවධිමත් අංශ දෙකෙහිම ශ්‍රමිකයින්ට වඩාත් යුක්ති සහගත සහ සුරක්ෂිත රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය පරිසරය මෙමගින් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇත.

ඉන්දුනීසියානු අත්දැකීම් ලංකාවට අනුගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු සම්බන්ධිත පාර්ශවයන් සංවාද සැසියක් ආරම්භ කර ඇති අතර මෙම අත්දැකීම් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් සමග හුවමාරු කරගැනීමට නියමිතය. මූල්‍ය සහ නෛතික ක්‍රියාකාරී සැලසුම් සහිත සමාජ ආරක්ෂණ වැඩසටහනේ මූලික අංග ඇතුළත් කැබිනට් සටහනක්ද සකස් කිරීමට නියමිත අතර ජනාධිපති සමාජ ආරක්ෂණ කමිටුවේ අවධානය සදහා දළ සටහන් හා යෝජනා ඉදිරිපත් කිරීමටද නියමිතය. මීට අතරමව ඉදිරියේදී සිදුවන පරිවර්තනීය සමාජ සුබසාධන වෙනස්කම් සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීම සදහා පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීමටද නියමිතව ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධයෙන් වන අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය මෙම වැඩසටන සදහා සක්‍රීය දායකත්වය හා සහාය ලබාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *