රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමුවෙද්දි වෙච්චි දේ මෙන්න..!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

කෙටි කාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත්, එම සැලසුම් සකස් කිරීමේ දී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල දියුණු සෞඛ්‍ය පද්ධතින් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.