ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රශංසනීයයි – ආර්ථික ස්ථාවරත්වයට පෙර මංසලකුණු

0

සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකාව, බෙහෙවින්ම අවැසි වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳව 02 වැනි කාර්ය මණ්ඩල සමාලෝචනයෙන් පසුව පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පීටර් බෘවර් මහතා එසේ කීය.

කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඊයේ (27) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දූත මණ්ඩල ප්‍රධානී, මේ මස 14 සිට 27 දක්වා කාලය තුළ සාකච්ඡා ඵලදායී හා සාරවත් ලෙස සිදු කළ බව ද සඳහන් කළේය.

මෙරටට පැමිණ සිදු කළ සමාලෝචනයෙන් පසුව ඉදිරියේදී කාර්ය මණ්ඩල එකඟතාවන් ඇති කර ගැනීමට පවා පියවර ගන්නා බව ද ඔහු කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පීටර් බෘවර් මහතා, IMF ණය පහසුකමේ අරමුණ දිළිඳු සහ අවදානමට ලක් විය හැකි පාර්ශ්වයන් රැක ගැනීම, මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කිරීම, දූෂණ සාන්තරායත්වයන්ට පිළියම් යෙදීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ ශ්‍රී ලංකාවේ අනාගත වර්ධන හැකියාව ඇති කිරීමට ඉඩ සැලසීම, ණය තිරසරභාවය අඛණ්ඩව ඉලක්කගත ලෙස සිදු කිරීම බව ද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පීටර් බෘවර් මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලාංකික ප්‍රජාව සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අසීරු වුව ද බෙහෙවින් අවැසි වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කරගෙන ඇත. ආර්ථිකය ස්ථාවරත්වයට පත් වීමේ තාවකාලික සලකුණු පෙන්නුම් කිරීමත් සමඟ, මෙම ප්‍රයත්නයන් පල දරමින් සිටියි. උද්ධමනය 2022 වසරේ පැවති ඉහළම අගයක් වූ සියයට 70 සිට 2023 සැප්තැම්බර් මාසයේදී සියයට 2ක් දක්වා පහළ ගොස් ඇති අතර, දළ නිල සංචිත මෙම වසරේ මාර්තු – ජුනි කාල පරිච්ඡේදයේදී එ.ජ. ඩොලර් බිලියන 1.5කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ද ලිහිල් වී ඇත. ආර්ථිකය ස්ථාවරත්වයට පත් වීමේ පෙරමං සලකුණු පැවතිය ද ආර්ථිකය පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වීම තවමත් සහතික කර නැත. ආර්ථික වර්ධන වේගය මැඬපැවැත්වී තිබෙන අතර, 2 වන කාර්තුවේ මූර්ත ද.දේ.නි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනමක් මත සියයට 3.1 පහළ යෑමත් ඉහළ සංඛ්‍යාතයකින් යුත් ආර්ථික දර්ශක අඛණ්ඩව මිශ්‍ර සංඥා සැපයීමත් දක්නට ලැබේ. සංචිත එක්රැස්වීමෙහි මෑත මාසවලදී පහළ යෑමක් පෙන්නුම් කෙරිණි.

“දිගුකල් පවත්නා ප්‍රතිසාධනයක් සහ ස්ථාවර හා සාර්ව සහභාගිත්වයක් සහිත වර්ධනයක් කරා දිවෙන මාර්ගය වෙත ආර්ථිකය යොමු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගය නොනවත්වා පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ. බලධාරීන් විසින් මෙම වැඩසටහනෙහි මූලික තුලන ඉලක්ක සාක්ෂාත් කරගෙන ඇති අතර, ණය තිරසරබව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඔවුන් ගෙන ඇති ප්‍රයත්නයන්ට සහාය ලබා දීමට හැකි වන පරිදි, මෙම වැඩසටහනෙහි ඉතාමත් වැදගත්ම අංශය වෙත කැපවී ක්‍රියා කරයි. කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව අර්ධ වශයෙන් ආර්ථික සාධක හේතුවෙන් ඉහළ ගිය ආදායම් සංචලන ලාභ වසර අවසානයේදී මූලික පුරෝකථනවලට වඩා ආසන්න වශයෙන් සියයට 15කින් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම හිඟය පිරිමසා ගැනීමට කිසිදු ප්‍රයත්නයක් නොයෙදුවේ නම්, රාජ්‍ය මූල්‍ය ගැළපුමෙහි භාරදූර වගකීම රාජ්‍ය වියදම මත පැටවෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය පොදු සේවාවන් සැපයීමට රජයට තිබෙන හැකියාව දුර්වල කෙරෙනු ඇති අතර, ඉන් ණය තිරසර බව කරා තිබෙන මාර්ගයට බාධා එල්ල වනු ඇත. ආදායම් ඉහළ නැංවීමට සහ මනා පාලනයක් ඇති කිරීමට, බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ සක්‍රිය බදු පැහැර හැරීම් තුරන් කිරීම වැදගත් වේ.

“දූත මෙහෙවර අතරතුරදී දැක්වූ විශිෂ්ට සහයෝගිතාව වෙනුවෙන් බලධාරීන්ට ස්තූති කිරීමට අපි කැමැත්තෙමු. නුදුරු කාලීනව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමේ අරමුණින් මෙම කණ්ඩායම පළමු සමාලෝචන පසුබිම තුළ සිය සාකච්ඡා අඛණ්ඩව සිදු කරනු ඇත. මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අප කැපවීමෙන් ක්‍රියාකරන බවට යළිත් තහවුරු කරන්නෙමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *