ජනපති-අගමැති සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි

0

ඉන්දියාව සමඟ අත්සන් කළ සියලු ගිවිසුම් සහ සාකච්ඡා කළ කරුණු, ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

ඇමැති අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

දෙරටේ සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම සඳහා පාරදෘශ්‍යභාවයකින් යුතුව මෙම ගිවිසුම් අත්සන් කර

තිබෙනවා. අදාළ කටයුතු සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රටට පාඩු සිදු වන කිසිදු දෙයක් සිදු කරන්නේ නැහැ. අපගේ විදේශ ප්‍රතිපත්තිය ‘ශ්‍රී ලංකා ෆස්ට්’ බව කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා-

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල ඉන්දිය සංචාරයක නිරත වුණා. ඒ වගේම ඉන්දියාව සමඟ ඔබතුමාලා ගිවිසුම් ගණනාවකට එළඹ තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම ඒ ගිවිසුම් මොනවද කියලා අපි දන්නේ නැහැ.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා-

ඉන්දියාව සමඟ සාකච්ඡා කළ සහ අත්සන් කළ සියලු ගිවිසුම්, පාරදෘශ්‍යභාවයකින් යුතුව සහ දෙරටේ සම්බන්ධතා වැඩි දියුණු කරගැනීමට සිදු කළ දේවල්. ජනාධිපති තුමා හා අගමැතිතුමා සමඟ සාකච්ඡා කර අවශ්‍යනම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කැබිනට් මණ්ඩලයත් අනුමත කළ දේවල්. මේ වනවිට ඉන්දියාව ලොව පස්වැනි විශාලතම ආර්ථික බලවතා බවට පත් වී තිබෙනවා. 2030 වන විට තුන්වැනි විශාලතම ආර්ථික බලවතා වන බවට සියලු දෙනා පිළිගෙන තිබෙනවා. 2050 වන විට ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට පත් වෙන බවට කියා වෙනවා. ශ්‍රී ලංකාවට විශේෂ අවශ්‍යතා රාශියක් තිබෙනවා. අභියෝග කළමනාකරණය කරගෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන, ඉතිහාසයේ සිරකරුවන් නොවී අලුත් විදියට අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන අපේ රට දියුණු කරන්න. අපේ රටට පාඩුවක් වෙන කිසිදු දෙයක් කරන්නේ නෑ. අපි ඇස් වහගෙන මේ දේවල් කරන්නේ නෑ. අපිට තිබෙන්නේ අපේ රටේ අවශ්‍යතා විතරයි. අපේ විදේශ ප්‍රතිපත්තිය ‘ ශ්‍රී ලංකා ෆස්ට්’ බව වගකීමෙන් කියනවා. මේ තිබෙන අවශ්‍යතා කළමනාකරණය කර ගනිමිනුයි අපි වැඩ කරන්නේ.

මේ පාර්ලිමේන්තුවේ සිටින කිහිප දෙනකුම මට ඉතාලියේ තිබෙන මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඔවුන් සමඟ සකච්ඡා කරලත් තිබෙනවා. අවාසනාවකට වගේ විශාල ප්‍රමාණයක් ව්‍යාජ සහතික ඉදිරිපත් කර තිබෙනවා. මෙතන ජාවාරමක් සිදු වෙනවා. ඒ නිසා ඉතාලියේ තානාපති කාර්යාලය විසින්ම, ඉදිරිපත් කරන සහතික නැවත පරික්ෂා කිරීමක් සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *