වෘත්තීය සමිති නායකයින් 20කට අනිවාර්ය නිවාඩු

“වෘත්තිය සමිති නායකයින් ලෙස හඳුනාගත්” 20කට ආසන්න පිරිසක් මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (මාර්තු 29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඔවුන්ට සේවා ස්ථානයට ඇතුළු වීම තහනම් කර ඇති බව ද කංචන විජේසේකර මහතා පැවසීය.

“ඒ වගේ ම සේවය නොකරන විශ්‍රාම ගිය සහ දේශපාලන පක්ෂවල වුවමනාවලට හැසිරෙන පිරිස් ඉන්නවා කඩාකප්පල්කාරීව කටයුතු කරන ඔවුන් පර්යන්තය තුළට ඇතුළු වුණේ කෙසේ ද කියන එක පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න අපි ඉල්ලීමක් කරලා තියෙනවා.”

කුමන දේශපාලන පක්ෂයක වුව ද ඔවුන් සියලු දෙනාට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ද ඊයේ (මාර්තු 28) නිවේදනයක් නිකුත් කර තිබිණි.