සිංහ වික්‍රාන්තිය පෑදීමෙන් සංවර්ධනයට දොරටුවක් ඇරේ

0

මහා විහාරය යනු යම් නිශ්චිත ගොඩනැගිල්ලකට යෙදූ නමකට වඩා ශ‍්‍රී ලාංකේය ඉතිහාසය තුළ ඉහළින්ම සටහන් වන ථේරවාදී බුදුදහම හා සබැඳුණු සංඛේතීය නාමයකි. ඒ අන් කිසිවක් නිසා නොව ලංකාවේ ථේරවාදී බුදු සමයේ කේන්ද්‍රස්‌ථානය කොට පැවැති බැවිනි. ලංකා ඉතිහාසය ලියැවී ඇති සෑම ග‍්‍රන්ථයකම පාහේ සුවිශේෂී අවස්ථාවක් මහා විහාරයට හිමි කර දී ඇත්තේ ද එකී උත්තරීතර වටිනාකම නිසාවෙනි.

මහා විහාරය

මහින්දාගමනයෙන් පසු ලංකාවේ පිහිටුවන ලද ප‍්‍රථම ආරාමික භූමිය මහමෙව්නා මහා විහාරයි. මෙරට ක‍්‍රි.පූ. 367 සිට ක‍්‍රි.පූ. 307 දක්වා රාජ්‍යය පාලනය කළ මුටසිව රජතුමා විසින් සකස් කර තිබු මහාමේඝ නම් රාජකීය උද්‍යානය ක‍්‍රි.පූ. 307ත් ක‍්‍රි.පූ. 267ත් කාලයේ මෙරට රාජ්‍ය පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට පුජා කරන ලද බව වංශ කථාවල සඳහන් වේ. ”මහමෙව්නා තිසරම් රද්මහ වෙහෙර” යනුවෙන් සෙල්ලිපිවල සඳහන්ව ඇත්තේ, දේවානම් පියතිස්ස රජු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විෂයෙහි ඉදිකොට පූජා කරන ලද මහා විහාරය පිළිබඳවය.

එසේ පූජා කරන ලද භූමියේ ඉතා වැදගත් සිද්ධස්ථාන ගණනාවක් පිහිටා තිබී ඇත. මේ සියලූ‍ ස්ථාන පිහිටා ඇත්තේ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පෙන්වා දී ඇති ආකාරයට සිංහ වික‍්‍රාන්තිය නම් වූ ක‍්‍රමවේදයකට අනුවය. සිංහ වික‍්‍රාන්තිය යනු සිංහයකු දකුණු පසට ආපසු හැරී බලන විට සිංහයාගේ දෘෂ්ටිය වැටෙන සහ ඒ ඒ අංග පිහිටන ස්ථාන අනුවය.

10 වැනි සියවස වන විට එම ස්ථාන පිහිටි ආකාරය පාලි මහා බෝධි වංශයෙහි දක්වා ඇත්තේ, ශ‍්‍රී මහා බෝධිය (සිංහයාගේ වල්ගය පිහිටි තැන*, ලෝවාමහාපාය (දකුණු පාදය පිහිටි තැන), සන්නිපාත ශාලාව (වම් පාදය පිහිටි තැන), ධාතුඝරය (නාසය පිහිටි තැන), රංසිමාලිකය (වම් ඇළය පිහිටි තැන), දාන ශාලාව (දකුණු අත පිහිටි තැන), රුවන්වැලි සෑය (වම් අත පිහිටි තැන), කණ්ඨ පොකුණ (උගුර පිහිටි තැන) පිළිමගෙය (දෘෂ්ටිය වැටෙන තැන) වශයෙනි.

අදටත් මහා විහාරය භූමිය තුළ මෙකී ස්ථානවලින් යම් ප‍්‍රමාණයක් දැක ගැනීමට හැකියාව තිබේ. ශ‍්‍රී මහා බෝධියේ උතුරු දොරටුවෙන් පිට වී රුවන්වැලි මහා සෑයට යන මාර්ගයේ දකුණු පස ලෝවාමහාපාය ද ඒ ඉදිරිපිට පාරේ වම් පැත්තට වන්නට සන්නිපාත ශාලාවද මේ ස්ථාන පසු කර ඉදිරියට ඇති පාරේ දකුණු පස දාන ශාලාව සහ වම්පස රුවන්වැලි මහා සෑය දැකගත හැකිවේ. නමුත් අදටත් මහා විහාර භූමිය සම්බන්ධයෙන් වූ ඵෙතිහාසික උරුමයන් සමස්තය හෙළිදරව් කිරීමට පුරාවිද්‍යා කැණීම් හෝ සාක්ෂි සාධක අපොහොසත්වීම රටේ අවාසනාවකි.

මන්ද ලෝකයේ බොහෝ රටවල් සිය ඵෙතිහාසික මං සළකුණු හෙළිදරව් කරගනිමින් ඒවා ඒ ඒ රටවල අභිමානයට, සංවර්ධනයට වගේම සහජීවනයට යොදා ගෙන ඇති බැවිනි. ඉන්දියාව, චීනය, ඉතාලිය, ප‍්‍රංශය ආදී රටවල් මීට කදිම නිදසුන්ය. අදටත් ලංකාවේ පෙළ පොත්පත්වල තිබූ පමණින් අපි සියල්ලෝම ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙනවා යැයි පාරම්බාන නමුත් එකී ඉතිහාසය නවීන තාක්ෂණය හෝ යොදාගෙන හෙළිදරව් කරගැනීමට අසමත්වීම හෝ කල්මැරීම හමුවේ අපි ලෝකය ඉදිරියේ අපේ ප්‍රෞඪත්වය භෞතිකව පෙන්වීමට, එය රටේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට, ප්‍රෞඪ සංස්කෘතිය වගේම සභ්‍යත්වය ලෝකය පුරා බෙදාහැරිමට අසමත්ව සිටිමු. රටේ හෙට දවස වෙනුවෙන් එකී අසමත්කම් සමත්කමක් කරගත යුතු බවත් සංවර්ධනයේ දොරගුළු හැර නවමු මාවතකට පිවිසීම වෙනුවෙන් ධෛර්යයෙන් කටයුතු කළ යුතු බවත් වත්මන් ජනාධිපතිවරයා මහා විහාර සංවර්ධනය සම්බන්ධයෙන් වූ අනුරාධපුර බෝමළු විහාරයේ පැවැති කතිකාවක දී පෙන්වා දුන්නේය.

බෝමළු විහාර කතිකාව

අද ලෝකයේ රටවල් තම අතීත ශිෂ්ඨාචාරය ඉස්මතු කරමින් ඉදිරියට යන විට අභිමානවත් ශිෂ්ඨාචාරයකට සහ ඉතිහාසයකට හිමිකම් කියන අප ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම කණගාටුදායක බව ද අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතු යැයි ද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසා සිටියේ මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ බෝමළු විහාරයේ පසුගිය 22 වෙනිදා පැවති සාකච්ඡුාවකදී ය.

තවදුරටත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, අනුරාධපුර ඵෙතිහාසික උරුමය සුරැුකෙන පරිදි ඊට ආවේණික නීති පද්ධතියක් නිර්මාණය කිරීම, පැරණි පිරිවෙන අධ්‍යාපන ක‍්‍රමය පාදක කරගනිමින් මහා විහාර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සහ මහා විහාර සංවර්ධන සැලැස්මට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් අනුරාධපුර පූජා භූමි සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවය. එසේම මෙහිදී විශේෂ අවධානයක් යොමු කරවමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, මහා විහාර සංකීර්ණයේ කැණීම් කටයුතු කඩිනමින් සිදු කළ යුතු බවය.

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදුකරන ලද මෙම කතිකාව ලංකා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් වනවාට සැකයක් නැත. මන්ද මෙතෙක් රට පාලනය කළ සියලූ‍ රාජ්‍ය නායකයකාරකාදීන් මේ රටේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් මැදිහත් වූ ක‍්‍රමවේදයන්ට වඩා පියවර සිය ගාණක් ඉදිරියෙන් සිට වැඩපිළිවෙලක්, සැලසුමක් සහිතව ජනාධිපතිවරයා මේ කෙරෙහි මැදිහත් වීම නිසාය. මන්ද මෙතෙක් රට පාලනය කළ රාජ්‍ය නායකයෝ බුදු සසුන සුරකින්න යැයි කියා සිදු කළේ ම පුද පූජා, භාර හාර, බෝධි පූජා, දානමානාදිය දීම වගේම තම සිතැඟි පරිදි ගොඩනැගිලි ඉදිකරවා පූජස්ථාන ලෙස නම් කිරීමය. කෙසේ නමුත් මෙකී කිසිදු කාර්යයකින් බුදු සසුනේ අභිවෘද්ධිය අත් නොවන බව වරෙක වල්පොල රාහුල හිමියන් සිය ”සත්‍යෝදය” කෘතිය තුළ පෙන්වා දී ඇත. වැඩිදුරටත් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ, ”එකම විහාරයක් හෝ පන්සලක් නැතත්, යම් දිනෙක මනුෂ්‍යයා තුළ ගුණධර්මයෝ වෙත්නම්, එදා ශාසනය ජීවමානව පවතී”‍ යනුවෙනි.

බුදු දහමේ චිරස්ථතිය

බුදු සසුනේ ආයුෂ පිළිබඳ වූ එකී සත්‍ය ධර්මය මැනවින් වටහා ගත් ජනපති රනිල් වික‍්‍රමසිංහ පුදු පූජා, භාරහාර, දානාමානාදිය හෝ පන්සල් ගොඩනැගිලි හදනවාට වඩා ප‍්‍රමුඛත්වය ලබාදී ඇත්තේ, ඉතිහාසය පුරා මෙරට සුරක්ෂිත කොට රැුකගත් ථේරවාදී බුදු දහම ලෝකයට විවෘත කිරීමටය. එ වෙනුවෙන් බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් මේ රට තුළ ගොඩනැගීමටය. මහා විහාර විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ ද එයමය. එයද පැරණි පිරිවෙන් භික්ෂු අධ්‍යාපන ක‍්‍රමවේදයන්ට අනුකූලව ක‍්‍රියාත්මක කිරීමට ද කටයුතු සැලසුම් කොට තිබේ.

එපමණක් නොව මහා විහාර භුමිය හැකි උපරිමයෙන් සහ ඉක්මනින් කැණිම් කටයුතු සිදුකර සත්‍ය තොරතුරු අනාවරණය කරගන්නා ලෙස යෝජනා කරන්නේ ද ලෝකයේ ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වගේම මූලස්ථානය බවට ශ‍්‍රී ලංකාව නාමකරණය කොට ලොව පුරා සියලූ‍ බෞද්ධයන්ගේ ආකර්ශනය දිනාගැනීම වෙනුවෙනි. තවත් අර්ථයකින් ඵෙතිහාසික මහා විහාර සංඛේත නාමය වටා ලෝකයේම බෞද්ධයන් කේන්ද්‍රගත කොට සැබෑ ධර්මය ලෝකයට බෙදා හැරීමටය. එවිට කල්ලි කණ්ඩායම් හෝ විවිධ මතභේද මත එකිනෙකාට දුරස්ව වගේම එදිරිවාදීව සතුරු මනසින් යුතුව කටයුතු කරන  ඕනෑම බෞද්ධයකුට සැබෑ බුදු දහම කුමක් ද යන්න පහසුවෙන් වටහා ගැනීමට අවස්ථාව නිර්මාණය වනු ඇත. සැබෑ බුදු දහමේ අභිප‍්‍රාය සාක්ශාත් වනු ඇත්තේ ද එවිටය.

මහා විහාර භූමිය තුළ සිදු කරනු ලබන කැණීම් හෝ සාක්ෂි සාධක පරික්ෂා කොට නුදුරු දිනෙක සත්‍ය තොරතුරු නිරවුල්ව සනාථ කරගත හැකි වන්නේ නම් සහ මනා සැලසුමකින් යුතුව ථේරවාදී බුදු දහමේ මූලාරම්භය වගේම ඵෙතිහාසික පතපොතේ දක්වා ඇති ආකාරයට මහාවංශික සම්ප‍්‍රදාය නැවතත් මහා විහාරය මූලික කොට ගොඩනැගීමට පියවර ගැනීම හරහා ශ‍්‍රී ලංකාව අනාගතයේ සංචාරක පරාදීසයක් බවට පරිවර්ථනය වනු ඇත. මන්ද එවැනි සැබෑ වෙනසක් මේ රට තුළ සිදුකිරීමට වෙරදරන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයන්ගේ අරමුණ ජයගත හැකිවන සමයක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර බුදු දහම පිළිබඳ අදහසක්, ප‍්‍රසාදයක්, හැඟීමක් ඇති  ඕනෑම පුද්ගලයකු ශ‍්‍රී ලංකාව තුළ සංචාරය කිරීමට දෙවරක් නොසිතන බැවිනි. එපමණක් නොව අනාගතයේ මහා විහාරය ද ජෙරුසලම, මක්කම වගේම ලෝක උරුමයක් වනවා සේම ආගමික කේන්ද්‍රස්ථානයක් කොට ලෝකයාගේ ගෞරව බහුමානයට ලක්වනු ඇත.

නවන් පතිරත්න

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු පුවත්