පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය දුන්නා නම් ඔය ෆේස් බුක් එකේ අද තියෙන වීඩියෝ දකින්න ලැබෙන්නේ නෑ

තරුණියන්ගේ ඇඳුම් ගලවා දමමින් ඒවා වීඩියෝ තාක්ෂණය හරහා පටිගත කරන මට්ටමට මේ වනවිට සමාජය විනාශ වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ(08) අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර, සමාජය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම මීට එක් හේතුවක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

යහපාලන ආණ්ඩු සමයේ පාසළ ළමුන්ට ලබා දීමට උත්සාහ කළ “හතේ පොත” නමැති ග්‍රන්ථය සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඊට එරෙහිව එම කාලයේ විරෝධතා රැසක් පැමිණි බවයි.

එවැන්නක් හරහා පාසල් ළමුන්ට නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් වර්තමානයේ වාර්තාවන අන්දමේ සිදුවීම් අවම කරගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එසේම නව කම්කරු නීති ගෙන ඒම සම්බන්ධයෙන් ද ඔහු එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.

ඒ අනුව ඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවෙන් විටන් විට ගෙනවිත් තිබූ පැරණි කම්කරු නීති වෙනුවට, රට දියුණ කළ හැකි, රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් වන කම්කරු නීති පද්ධතියක් සදහා වන යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එහිදී දේශපාලන වාසි බලාගෙන කටයුතු කර නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළා.