IMF මුදල් ලැබීම ගැන සතුටුවන විපක්ෂය.

0

රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සංචිතය ලබා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය සතුටු වන බව කියා සිටිනවා.

සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ඔවුන් හමු වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රටට අවශ්‍ය සහාය ලබා දෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

ඒ අනුව රට ගොඩ ගැනීමේ යම් කාර්යකට දායක වීමට හැකි වීම සම්බන්ධයෙන් මුළු පක්ෂයම සතුටු වන බවයි ඊයේ (13)  පාර්ලිමේන්තුවේ පැවති මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර සිටියේ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙන බවයි.

බලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන රටම පරිස්සම් විය යුතු බවත්, එවැනි සුරංගනා කතාවල කියන දේ ඉටු කිරීමට යාමෙන් සිදු වන්නේ රට නැවත බංකොළොත්භාවයට පත්වීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

රට ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ඉටුකරගත යුතු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන මූලික සාධක දෙක නිසි පරිදි හසුරුවා ගැනීම හේතුවෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට යාමෙන් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *