ත්‍රිරෝද රථ නියාමනය ආරම්භ කරන බවට ඇමැති බන්දුලගෙන් ප්‍රකාශයක්

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ත්‍රිරෝද රථ නියාමනය කිරීම ඉදිරි මාස දෙක ඇතුළත ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය.

මෙම ක්‍රියාවලිය සඳහා ජාතික ගමනාගමන කොමිසමට බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා පවසන ලදි.

මෙහි දී අමාත්‍යවරයා “ත්‍රිරෝද රථ නියාමනය සඳහා ජාතික ගමනාගමන කොමිසමට මෙතෙක් බලතල තිබුණේ නැහැ. කොමිසමට බලතල ලැබෙන පරිදි සංශෝධනය කළ පනතට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා. ත්‍රිරෝද රථ සඳහා 2017 වසරේ දුන් නියෝග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නියෝග අනුව අය කරන ගාස්තුව සඳහා රථයේ රියැදුරු හා අංකය හඳුනාගත හැකි වන ආකාරයට රිසිට් පතක් නිකුත් කිරීමත් අවශ්‍යතාවක්. ඒ සියලු විධිවිධාන ක්‍රියාත්මක කරනවා” යැයිද පැවසීය.