ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත ඉහළ ගිහින් – වෙරිටේ රිසර්ච්

0

වත්මන් ආණ්ඩුව රට ගොඩ නැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ තෘප්තිමත්භාවය වැඩි වී ඇතැයි, වෙරිටේ රිසර්ච් ආයතනය සිය නවතම ජනමත විමසුම් සමීක්ෂණයෙන් අනාවරණය කර තිබේ

එම ආයතනය සිදු කරන දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ, 2023 ජූනි මාසයේ ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 21% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

එය, 2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාස දෙකෙහිදීම වාර්තා වී ඇත්තේ, 10% කට අඩු අගයකි. 

රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ද, ජනතාව වඩාත් තෘප්තිමත් බව, මෙවර සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන බව, වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි. 

2023 පෙබරවාරි සහ 2022 ඔක්තෝබර් මාසවල පිළිවෙළින් 4%ක සහ 7%ක මට්ටම්ව පැවති මෙම ප්‍රතිශතය, 2023 ජූනි මාසයේ වන විට 12%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක් කර ඇති අතර අතර, ජූනි මාසයේ ඒ සඳහා ලැබී තිබෙන ජනතා ප්‍රතිචාරය සෘණ 43.8 කි.

එම අගය, පසුගිය පෙබරවාරි සහ ඔක්තෝබර් මාස දෙකටම වඩා දියුණුවකි.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිත කර ඇති අතර, එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාර සෘණ 100 සිට ධන 100 දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන්, මෙම අගය ලබා ගෙන ඇත.

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි. ‘වෙරිටේ රිසර්ච්’ මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1,008ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *