ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට අවධානය..!

තලෛමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් – කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම දෙරට අතර නාවික ගමනාගමනය තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනාගමනය පිළිබඳ නව මංපෙත් ගවේෂණය කිරීම දෙරටේ ආර්ථික වර්ධනය තවදුරටත් උත්ප්‍රේරණය කරනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටී.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීම, කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසනීය බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුකර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ  ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහි කිරීම මගින් රටේ ජාතික සංවර්ධනයට ලබාගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද අවධාරණය කර තිබේ