Online පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

0

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (24) සම්මත වුුුණා.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීම වෙනුවෙන් සිදු කළ ඡන්ද විමසීමේදී පනත සම්මත වූයේ වැඩි ඡන්ද 46කිනි.

පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් ලැබිණි.

ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී පාර්ලිමේන්තු මැති ඇමැතිවරු 54 දෙනෙක් සභාවෙහි නොසිටියහ.

පනත් කෙටුම්පත සඳහා සමගි ජන බලවේගයේ විරෝධය පළ කරන බව සඳහන් කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා.

ඒ අනුව පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම සිදුකිරීමට කථානායකවරයා විසින් සීනුව නාද කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම සිදුවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ආණ්ඩු පක්ෂය සමඟ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ නිමල් ලාන්සා, අලි සබ්‍රි රහීම්, ජෝන් සෙනවිරත්න, වඩිවෙල් සුරේෂ් යන මහත්වරු ඇතුළු පිරිසක් ඡන්දය ප්‍රකාශ කළා.

පනත් කෙටුම්පතට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා හා සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමෙන් පසුව පනත් කෙටුම්පත සඳහා වූ සංශෝධන ඉදිරිපත් කිරීම සිදුවිය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ 36 වැනි සංශෝධනය සඳහා ආණ්ඩු පක්ෂය මඟින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීමක් සිදු විය. ඒ අනුව අදාළ සංශෝධනය සඳහා ඡන්ද විමසීමක් සිදු කළ අතර එම සංශෝධනයට පක්ෂව ඡන්ද 51ක් ද විරුද්ධව ඡන්ද 91ක් ද හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *