තල්මසුන්ට හිරිහැර කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – පරිසර සංවිධාන

කල්පිටිය කුඩාව වෙරළට ගොඩගැසූ ‘Pilot Whale’ විශේෂයට ආයත් තල් මසෙකුට වද හිංසා පැමිණ වූ පිරිස සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර සංවිධාන ඉල්ලා සිටී.
මුහුදේ සිට ගොඩබිමට ගසා ගෙන ආ එම සතුන් මිය ගිය සතුන් යැයි පැවැසුවද ගොඩබිමදී උන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා අවම මට්ටමක පවතින නිසා මේ පිරිස එම සතුන්ට හිරිහැර කරන අවස්ථාව වන විටත් උන් මිය ගියේ ද නැද්ද යන්න නිශ්චිතව ම ප්‍රකාශ කළ නොහැකි බවජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

එම තල්මස් ගොඩබිමට ගසා ගෙන පැමිණි පසු එම සතුන්ගේ සිරුරු මත නැගී උන්ගේ වරල්වලින් අදිමින් එම තල්මසුන්ට විවිධ ආකාරයේ හිරිහැර කළ ළමයින් සහ කාන්තාවන් ඇතුළු පිරිසක් දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බව ත් හෙතෙම සඳහන් කළේ ය.

එම සතුන් මිය ගොස් සිටිය බව පැවසුණ ද මැරුණු සතකුගේ සිරුරක් වුව ද සෙල්ලම් භාණ්ඩයක් නොවන නිසා එම පිරිසගේ මේ හැසිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකි නින්දිත හැසිරීමක් බව ද ඔහු අවධාරණය කළේ ය.

ගොඩට ගසා ගෙන ආ තල්මසුන් හැකි ඉක්මනින් යළි මුහුදට යැවීම කළ යුතු වුවත් පීඩාවට පත්ව ජීවිත අනතුරේ සිටින තල්මසුන්ට හිරිහැර කිරීම හා ඒ තුළින් විනෝද වීමෙන් එම පිරිසගේ අශිෂ්ට සහකම්පනයෙන් තොර අසංවේදී බව පෙන්නුම් කරන්නක් යැයි ද ආචාර්යවරයා පැවසීය.

එවැනි ගති ලක්ෂණ සමාජයට තර්ජනයක් පමණ නොව සත්ව හිංසා ආඥා පනතේ දෙවන සහ තෙවන වගන්ති යටතේ සහ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වන වගන්තිය අනුව ද වරදක් බව ඔහු කීය.

එම පනත් දෙක ප්‍රකාරව මෙය සංඥය වරදක් නිසා වරෙන්තුවක් නොමැතිව වුව ද මේ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එම නිසා සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපවල සිටින සහ මේ අකටයුත්තට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති අනෙකුත් සියලු ම වැඩිහිටියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කළ යුතු යැයි ද ඔහු අවධාරණය කළේය.

මේ අතර, මේ සිදුවීමෙන් පැහැදිලිව පෙන්නුම් කෙරෙනුයේ, මෙරට පාරිසරික සාක්ෂරතාව සහ මානුෂීයත්වය පිළිබඳ ගැටලුව යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් පවසයි.

ජලයේ ජීවත්වන සතුන් ගොඩබිමේදී ඉතා ඉක්මනින් විජලනයට පත්වන නිසා ඒ පිළිබඳ හෝ තැකීමක් නොමැතිව එම සතුන්ගේ සිරුරු මත නැගී මේ කරන ක්‍රියාව කිසිවක් නොසිතා කරන ක්‍රියාවක් නොව හිතාමතා ම සතුන්ට හිංසා කිරීමක් බව ද ඔහු කීය.