නූතන ලෝකයට ගැලපෙන ලෙස පාසල් විධිමත්ව සංවර්ධනය කිරීමේ සැලැස්මට අනුමැතිය

0

නූතන ලෝකයට ගැලපෙන ලෙස පාසල් විධිමත්ව සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්මට බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය හිමිවේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම සංවර්ධන සැලසුම සකස් කෙරිණ.

පාසල් විධිමත්ව සංවර්ධනය කිරීමේ සැලැස්මට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ අනුමැතිය මීට පෙර හිමිව තිබුණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පිහිටි බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවැති සාකච්ඡාවකදී මෙම අනුමැතිය හිමිවිය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් තුනක් මූලික කරගනිමින් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මෙම සංවර්ධන සැලසුම වසර පහකට වරක් යාවත්කාලීන කිරීමටද නියමිත බවද ඔහු සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල ගොඩනැඟිලි මේ වනවිට පවතින්නේ දැඩි අබලන් තත්ත්වයකය.මෙම ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කිරීමට පාසල්වලට හෝ කලාප අධ්‍යාපන කාර්යාලවලට මුදල් නොමැත. එබැවින් බොහෝවිට සිදුවන්නේ තාවකාලිකව සුළු වශයෙන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම පමණි.
මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් නිසිලෙස අධ්‍යයනයකොට එම පාසල් සංවර්ධණය කිරීම සඳහා සැලසුමක් සකස් කරන ලෙසය.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් මාස හතරක කාලයක් තිස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලටම ගොස් දත්ත ලබාගෙන මෙම සංවර්ධන සැලසුම සකස්කර තිබේ.
පාසල්වල අනතුරු දායක ගොඩනැඟිලි ඉවත්කොට පාසලේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතුවලට ගැලපෙන ලෙස මෙම සංවර්ධන සැලසුම සකස්කර ඇත.

එහිදී ඔවුන් ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 24ක් හා මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 34 ක් ඉලක්ක කර මෙම සංවර්ධන සැලසුම සකස්කර තිබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අනතුරුව මූලික සංවර්ධන සැලසුම පාසල්වලට ලබාදී පාසල් සංවර්ධන කමිටු, ආදිශිෂ්‍ය සංගමය, පාසල් කළමණාකරණ කමිටු සමඟද සාකච්ඡා කොට අනුමැතිය ලබාගෙන තිබුණි.

මෙම සංවර්ධන සැලසුම බස්නාහිර පළාතේ සියළුම පාසල් ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
මෙහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
සියලුම රාජ්‍ය අයාතනවලට මූලික සංවර්ධන සැලැස්මක් සකස්කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒක රජයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ සංවර්ධන සැලසුම අධ්‍යාපනයට විතරක් සීමා කරන්න හොඳ නැහැ.

සාමාන්‍යයෙන් මේ වගේ සංවර්ධන සැලැස්මක් පුද්ගලික අංශයේ මැදිහත්වීමෙන් හදන්න ගියාම සෑහෙන වියදමක් දරන්න සිදුවෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් යොදවගෙන නියදියක් විදියට ගම්පහ සහ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලවල පාසල්වල මෙය ආරම්භ කළා.

නමුත් මෙය ව්‍යාප්ත කිරීමේ අයිතිය තිබෙන්නේ පළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු පළාත් සභාවලටයි.ඒ නිසා පළාත් ඉංජිනේරු කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය, සැලසුම් අධ්‍යක්ෂකවරුන් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට සම්බන්ධවිය යුතුයි.

එමෙන්ම මෙම සංවර්ධන සැලැස්ම මත පදනම් වෙමින් අපේ පාසල – අපේ දෑතින් සුරකිමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට මුදල් නාස්ති වෙන්නෙත් නැහැ. එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතා අනුව සංවර්ධන කටයුතු සිදුවෙන්නෙත් නැහැ. මෙම සංවර්ධන සැලසුමේ මූලික අරමුණ එයයි.

අධ්‍යාපන කේෂ්ත්‍රය සංවර්ධනය කිරීමෙන් පසුව බස්නාහිර පළාතේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සංවර්ධනය වෙනුවෙනුත් මෙවන් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාරතුමන් ඉල්ලීමක් කර තිබෙනවා යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, සිරිසෝම ලොකුවිතාන, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන ලාවන්‍ය වීරසූරිය, ඉන්දිකා බාලසූරිය, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කපිල රණරාජා පෙරේරා,ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඒ.ඒ ප්‍රේමලාල් යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *