මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවලට සහයවීම සඳහා විධිමත් සැලැස්මක් අවශ්‍යයි

0

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (20) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු කරමිනි.

“කිසිවෙකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මුල්‍යකරණය” යන තේමාව යටතේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද 2023 සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ මෙම ඉහළ මට්ටමේ සංවාදය සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය

“පොදු රාමුවක් හෝ ක්‍රියා පටිපාටියක් නොමැති වීම නිසා මධ්‍ය ආදායම් ලබන රටවලට අත්වන ඉරණම පිළිබඳ මම ඔබගේ අවධානය යොමු කිරීමට කැමැතියි. එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ උදාහරණයක් පෙන්වා දෙනවා නම්, බංකොලොත්භාවය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ දී එහි සියලු බාහිර මූල්‍ය ගනුදෙනු නතර වී යාම සඳහන් කළ හැකියි.

මේ හේතුවෙන් විශාල දේශපාලන අර්බුදයකට මුහුණදීමට අපට සිදු වුණා. නමුත් කෙසේ හෝ ශ්‍රි ලංකාව නැවත ප්‍රගතියේ මාවතට පිවිස සිටින අතර එහිදී ඇමරිකානු රජයෙන් හිමි වූ පොහොර පරිත්‍යාගය නිසා ගැටලු රැසක් වළක්වා ගැනීමට හැකි වුණා.

මේ අයුරින් බලන විට මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවලට සහාය විම සඳහා විධිමත් සැලැස්මක අවශ්‍යතාවය පවතින බව මම ප්‍රථමයෙන්ම අවධාරණය කර සිටිනවා. දෙවනුව, මෙහි ඉදිරිපත් කර ඇති සියලුම යෝජනා පිළිබඳ සාකච්ඡා කළ යුතු අතර ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මෙම වසරේ, අපේක්ෂිත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 105 ක් පමණ වෙනවා. මෙයින් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 91ක් රාජ්‍ය ණයයි. එබැවින්, අපි මෙම උපකල්පන මත කටයුතු කරමින් සිටිනවා.
මෙහි ප්‍රවේශයක් ගැනීම සඳහා දැනට අප සතුව පවතින දේ අප පාවිච්චි කළයුතුව තිබෙනවා. දැනට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තරණ ණය පහසුකමක් ලෙස ඩොලර් බිලියන 100 ක් අපට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අප මූලික වශයෙන් මෙම අරමුදල භාවිතා කරන්නට කටයුතු කරනවා. වැදගත්ම කරුණ වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම භාවිතයට ගැනීමයි.

ඉන්පසුව, සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව ඩොලර් බිලියන 500 ක් ලබා දීමට මෙන්ම කෙටි කාලීනව පවතින ණය, අඩු පොලී අනුපාත යටතේ දිගු කාලීන ණය බවට පරිවර්තනය කිරීමට මහලේකම්වරයාගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ මගින් යෝජනා කර තිබෙනවා.
මෙම ඉලක්ක ඉදිරියට සාක්ෂාත් කරගත යුතුව ඇති බැවින් මහලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සාර්ථක කර ගැනීම කෙරෙහි අප දැන් අවධානය යොමු කළ යුතු වෙනවා. මීට සමගාමීව තවත් යෝජනා දෙකක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් ලෙස පොහොර සහ ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර ලිහිල් කිරීම සම්බන්ධ ලෝක බැංකු යෝජනාව සැලකිය හැකියි. මෙය ඉතා වටිනා යෝජනාවක් බව කිවයුතුයි. එහිදී මුදල් ඉතිරිවීමක් සිදු වුවහොත් එම මුදල් වෙනත් කටයුතුවලට යොමු කිරීමට අවස්ථාව තිබෙනවා.
දෙවන වැදගත් යෝජනාව ලෙස වෙළඳ මූල්‍ය පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) යෝජනාව සැලකිය හැකියි. එය අපනයන පුළුල් කිරීම සඳහායි.
ණය හිමියන්ට සත්‍ය අපහසුතාවයන් පවතින බව මම පිළිගන්නවා. අප ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවටද මම යෝජනා කරනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල් සඳහා කඩිනම් සහන හිමිවිය යුතුය. අපි වහාම එම සහන ලබා නොදුන්නොත්, අප විසින් ඉදිරිපත් කර ඇති අනෙකුත් සියලුම යෝජනාවලින් ඵලක් වන්නේ නැහැ. අපට වචනයෙන් සහයෝගය ලැබී ඇතත් ඒම වචන ක්‍රියාවට නංවන්නේ කවදාද කියා මම ඔබෙන් අහන්න කැමතියි.
වත්මන් අභියෝග සඳහා ඵලදායී විසඳුම් සාකච්ඡා කිරීමට සහ තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමේ දී සාමාජික රටවලට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට මෙවැනි ඉහළ මට්ටමේ සංවාද මනා වේදිකාවක් සපයනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *