ජනපතිගෙන් පෞද්ගලික අංශයට ආරාධනයක්

0

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරන සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11,12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නව තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.

බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයින්, දැනුවත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

දින 03ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ දී කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනු ලබන අතර තාක්ෂණික අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමට ද නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මෙම ප්‍රදර්ශනයට සහභාගිවන බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ තමන්ගේ විදේශගත වීමේ අපේක්ෂාව මේ හරහා සාර්ථක කරගන්නේ කෙසේද කියලයි. එය සෑම කෙනෙක්ගේම සිහිනයක්. නමුත් මම අවධානය යොමු කළේ මෙම ප්‍රදර්ශනයෙන් අපේ රටට ප්‍රයෝජනයක් ලබා ගන්නේ කොහොමද කියලයි.
අද අප සිටින්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩගනිමින් සිටින අවස්ථාවකයි. රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අප ලබාගත් ණය ආපසු ගෙවිය යුතුයි. අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ යුතුයි. ඒ සඳහා ද මුදල් ගෙවීමට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අපට නැහැ. ඒ නිසා නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා.
අපි ණය චක්‍රයේ සිටිනවද ඉන් ඉවත්වී ඉදිරියට යනවද කියන එක පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ රටේ ඉතා තරගකාරි ආර්ථිකයක් සමඟ ලෝක වෙළෙඳපොළ වෙත ගමන් කර වෙළෙඳ භාණ්ඩවලින් සහ සේවාවලින් අපට ලැබෙන ආදායම වැඩි කර ගෙන අතිරික්තයක් පවත්වාගත යුතුය. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් මේ රට හැර ගිය පිරිසත් නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරනවා.

මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයක් වන්නේ අපේ ආර්ථික නවීකරණයයි. ඉතා තරගකාරී ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් එහි ප්‍රධාන කොටස් වෙනවා.ඩිජිටල් ආර්ථිකය ගැන කතා කළොත් අප ඉන් ඉදිරියට යන විට කරුණු ගණනාවක් සම්පූර්ණ කළයුතුව තිබෙනවා.
එහිදී තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් හා පුහුණුවක් තිබෙන මිනිස් බලකායක් අවශ්‍ය වෙනවා. එම බලකාය ගොඩනැගීම වෙනුවෙන් අප පියවර ගණනාවක් ගෙන තිබෙනවා.
අප අලුත් විශ්වවිද්‍යාල පද්ධතියක් ආරම්භ කරනවා. එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රමවේදය අනුව රජයෙනුත් විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා ද අවස්ථාව ලබා දෙනවා. හාවඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල වගේ ලබන ලාභය නැවත විශ්වවිද්‍යාලයට ආයෝජනය කරන කණ්ඩායමක් සමග එම කටයුතු කරගෙන යාම අපේ බලාපොරොත්තුවයි.
කෙසේ හෝ මෙම නව තාක්ෂණ දැනුම ලබාදීම වෙනුවෙන් අලුත් විශ්වවිද්‍යාල ගණනාවක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දෙවනුව දැන් තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450 එක් කර වෘත්තීය විද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම වෘත්තිය පුහුණුව නවීකරණය කරනවා. මේ සියල්ල කරන අතරතුර පාසල් සඳහාද මෙම නව තාක්ෂණය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
රටේ අනාගතය තිබෙන්නේ තාක්ෂණ සහ හරිත ක්ෂේත්‍ර යන අංශ දෙක තුළයි. එසේනම් අප ඒ සඳහා ඇතුළත් විය යුතුයි.
වී වගාව අසාර්ථක වූ විට අප කුරුඳු වගාවට යොමු වුණා. කුරුදු වගාව නැති වූ විට කෝපි වගා කළා. කෝපි නැති වු විට තේ, රබර් පොල් වගා කළා. දැන් අප සංචාරක ව්‍යාපාරය සහ ඇඟළුම කර්මාන්තය සිදු කරනවා. මේ සියල්ල අයත් අතීතයටයි. නමුත් අප අනාගතයට යා යුතුයි. ඒ සඳහා අප හැකි තරම් කණ්ඩායම් පුහුණු කළයුතුයි. මෙරට අවශ්‍යතාව මෙන් දෙගුණයක පිරිසක් බිහි කළයුතුයි. ඇතැම් පිරිස් විදේශ රැකියා සඳහා යනවා. ඔවුන් අපේ රටට විදේශ විනිමය එවනවා.
ජපානය, චිනය, දකුණු කොරියාව වැනි නැගෙනහිර ආසියාවේ අද ජනග්‍රහණය සීග්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. ඉතින් අපි සියලුදෙනා එකතුවෙලා ඉදිරියට යමු. අලුතින් බිහිවන විශ්වවිද්‍යාල සඳහා ඔබට සම්බන්ධවිය හැකියි. ඒ වගේම වෘත්තීය මධ්‍යස්ථාවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබට අවස්ථාව සළසා දිය හැකියි.
ඒ වගේම මෙම දැනුම පාසල්වලට එක් කිරීම පිළිබඳවත් අපිට එක්වෙලා වැඩ කරන්න පුළුවන්. මගේ ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ඔබ සූදානම්ද, නැද්ද යන්නයි. මෙම වැඩකටයුතුවල ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් ගෙන තිබෙනවා. අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් ඒ සඳහා සම්බන්ධ වී සිටිනවා.
මෙම තාක්ෂණය සමග නව කර්මාන්තශාලා බිහි වූ විට නව වෘත්තීය අවස්ථා ඇති වෙනවා. අද විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. ඒ තරුණ පිරිස් වෙතත් මෙම දැනුම ලබාදී ඔවුන්ට නව රැකියා අවස්ථා විවර කර දිය හැකියි. මේ සඳහා ඔබේ ප්‍රතිචාරය මට දැනුම් දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
තාක්ෂණ අමාත්‍ය කණක හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ඒ.ඩී. ගුණවර්ධන, තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ, ජාතික අනාගත කුසලතා මුලපිරීම් ආයතනයේ (NFTI) සභාපති මධු රත්නායක, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම යන මහත්වරුන් ද පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *