යාපනයේදී ජනපති ආගමික නායකයන්ගෙන් ආශීර්වාද ලබයි

පසුගිය දිනවල යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ශ්‍රී නාග විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබා ගත්තේය.

මෙහිදී ජනාධිපතිවරයා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

ඉන් අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන් වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නල්ලෙයි ආදීන ආශ්‍රමාදිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා ද හමු වී ආශීර්වාද ලබා ගත්තේය.

ඉන් පසු යාපනය රදගුරු නිල නිවෙස වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය රදගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් පියතුමා බැහැදැක කෙටි සාකච්ඡාවක නිරත විය.

 මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.