සැප්තැම්බර් 17න් පසු දිනයක ජනපතිවරණය පවත්වන බවද ඊට පෙර මේ මස අවසන් වීමට පෙර දිනය ප්‍රකාශ කරන බවද  මැතිවරණ කොමිසමේ සභාපති පවසයි

ඊයේ (16)මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සැප්තැම්බර් 17න් පසු එළැඹෙන සුදුසුම දිනය තෝරා ජනාධිපතිවරණය පවත්වන බව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

 මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම ඇතුළු ඊට අදාළ සියලු කටයුතු සඳහා ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිසමට බලය පැවැරී ඇති බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරණ පනතේ ඇති කරුණුවලට අනුව දින නියම කරන අතර වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණයට අදාළ කටයුතු සිදු කෙරෙන දිනයන් වෙනස් නොකරන බව ද පැවසුවේය.