වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ

0

කොළඹින් පසු ශක්තිමත්ම සෞඛ්‍ය සේවාව උතුරට ලබාදීමට හැකි වී තිබෙනවා.

 A9 මාර්ගයේ ශක්තිමත් වු මෙම නවීන රෝහල් පද්ධතිය වෛද්‍ය සංචාරක ව්‍යාපාරයටද මහඟු රුකුලක්

ජනපති පෙන්වා දෙයි.

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (26) විවෘත කෙරිණි.

යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

මෙම නව තෙමහල් ගොඩනැඟිල්ල හෘද රෝග ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය (Cath Lab), හෘද උරස් ශල්‍යාගාරය (Cardiothoracic theatre), හෘද දැඩි සත්කාර ඒකකය (Cardiac ICU), එකෝ කාඩියෝග්‍රැෆි (Echo Cardiography), ව්‍යායාම විද්‍යුත් කන්තුක රේඛන (Exercise ECG), ජංගම රුධිර පීඩන අධීක්ෂණ ඒකකය (Ambulatory BP monitoring), ජංගම විද්‍යුත් කන්තුක රේඛන (Ambulatory ECG monitoring) අධීක්ෂණ ඒකකය ආදී නවීන පහසුකම්වලින් සම්නවිතය.

වකුගඩු රෝග ඒකකය සඳහා රුධිර කාන්දුපෙරණ ඒකකය, ස්කෑන් කාමරය සහ වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් කාමරය සහ ශල්‍ය ඒකකය ආදී පහසුකම් ඇතුළත් වේ.

සමරු ඵලකය නිරාවරණය කර හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ඇතුළත් නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයේ සහයෝගය යටතේ ලැබී ඇති මෙම සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට රජය කටයුතු කරන බවයි.

මේ වන විට නවීන සහ දියුණු රෝහල් පද්ධතියක් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා A9 මාර්ගයේ ශක්තිමත් වූ මෙම නවීන රෝහල් පද්ධතිය මෙරට වෛද්‍ය සංචාරක ව්‍යාපාරයට ද මහඟු රැකුලක් බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මෙම ඒකකය විවෘත කිරීමත් සමඟ උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් දියුණු වෙනවා. එසේම මන්නාරම දිස්ත්‍රික් රෝහල ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ද කිවයුතුයි.


එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම විදේශ සම්පත් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙම වෛද්‍ය ඒකකය ඉදිකිරීම සඳහා නෙදර්ලන්ත රජය සමඟ එකගතාවකට එළැඹීමට මා කටයුතු කළා. අද එය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලුදෙනාට මා ස්තූතිවන්ත වෙනවා.

එසේම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ගැනීමට කැපවූ නෙදර්ලන්ත රජයට ස්තූතිවන්ත විය යුතුයි. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට නෙදර්ලන්ත රජය පුළුල් දායකත්වයක් ලබා දි තිබෙනවා.
මේ වනවිට ‍යාපනය රෝහල සමඟ පේදුරුතුඩුව රෝහලත් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා.
A9 මාර්ගය යනු ශ්‍රී ලංකාවේ කොඳු ඇට පෙළයි. එම මාර්ගය ඔස්සේ වව්නියාව, මාන්කුලම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල නවීන රෝහල් තුනක් ඉදි කර තිබෙනවා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමෙන් පසුව යාපනය රෝහලද ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා.


ඒ වගේම A9 මාර්ගයේ අනෙක් කොළවරේ අනුරාධපුර ශික්ෂණ රෝහල තිබෙනවා. ඒ වගේම ව‍ව්නියාව රෝහල සංවර්ධනය කර ශික්ෂණ රෝහලක් බවට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා මාගෙන් ඉල්ලා සිටියා. අනුරාධපුර සහ යාපනය අතර පවතින්නේ කිලෝමීටර 65 ක දුර ප්‍රමාණයක් පමණයි .ඒ අනුව ඉතා ශක්තිමත් රෝහල් පද්ධතියක් අද මෙම පළාතට ලැබී තිබෙනවා. එය කොළඹින් පිට වෙනත් පළාතක දැකීමට නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි.


උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති මෙම සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.


කොළඹ නගරයට අමතරව සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුර සිට යාපනය දක්වා දිවෙන A9 මාර්ගයත් පත්ව තිබෙනවා. ඒ වගේම මේ හරහා වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා ද බොහෝ අවස්ථාවන් පවතිනවා.

එසේම මෙරට ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් මෙය වැදගත් ව්‍යාපෘතියක් වනු ඇතියි. අප මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. ඒවගේම මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නෙදර්ලන්ත රජය අපට ඉදිරියේදීත් උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ඉදිකිරීමට දායක වීම පිළිබඳව නෙදර්ලන්ත රජයට අපගේ කෘතඥතාව පළ කර සිටිනවා. ආර්ථික වශයෙන් කඩා වැටුණු අපේ රට බාර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ක්‍රමක්‍රමයෙන් රට දියුණුව කරා ගෙනයමින් සිටිනවා.

ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට කොපමණ ස්තුති කළත් ප්‍රමාණවත් නැහැ . භයානක තත්ත්වයක තිබූ මේ රට එතුමා විසින් මේ වන විට යහපත් රාජ්‍යයක් බවට පත් කර තිබෙනවා.


මෙම ප්‍රදේශයේ බොහෝ රෝහල් කාර්ය මණ්ඩල හා භෞතික සම්පත් හිඟයකට මුහුණ දී සිටිනවා. රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ එම ගැටළු සියල්ල එකවර විසඳන්න බැහැ. නමුත් ජනාධිපතිතුමා පියවරෙන් පියවර එම ගැටළු විසඳමින් සිටිනවා. ඊට සහාය වෙමින් අනාගතයේදී අපේ ප්‍රශ්න විසඳා ගැනීමට කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් (Bonnie Horbach) මහත්මිය
2018 ජූනි 12 වැනිදා නෙදර්ලන්ත සමාගමක් වන VAMED සමාගම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්සන් තැබූ සහයෝගිතා ගිවිසුමකින් ආරම්භ වූ ගමනක් අද මේ ආකාරයට සාර්ථකව අවසන් අප කර තිබෙන්නේ.
මෙම ගිවිසුමෙන් උතුරු පළාත සඳහා අති නවීන වෛද්‍ය උපාංග සහිත රෝහල් හතරක් ඉදිකිරීමට නියමිත බව සඳහන් වුණා. ඒ සඳහා වැය වන මුළු මුදලින් 75% ක් සහන ණයක් ලෙසත් ඉතිරි මුදල නෙදර්ලන්ත රජයෙන් සිදු කරන ප්‍රදානයක් ලෙසත් ලබාදීමට කටයුතු කළා. එම ප්‍රදානයේ වටිනාකම මුළු පිරිවැයෙන් 35% දක්වා වැඩි කිරීමට නෙදර්ලන්ත රජය පසුව තිරණය කළා. ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන්ට සහාය වීමට නෙදර්ලන්ත රජය දක්වන කැපවීම මෙම ප්‍රදානය වැඩි කිරීමෙන් පෙන්නුම් කර තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන්, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලක්ෂ්මනන් ඉලංගෝවන් යන මහත්ම මහත්මීන් සහ උතුරු පළාත් සභාවේ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *