රට බංකොලොත් භාවයෙන් මුදාගත් රනිල් ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබන බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළේ පසුගිය 06 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති එජාප ගාල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

රට බංකොලොත් බවින් මුදවාගෙන රට ගොඩගත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් හිමි කරගන්නා බවත්, එම ඓතිහාසික ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් ජනතාව මේ වනවිටත් පෙළගැසී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නැවත නැවත වැරැදි කළහොත් එම ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වන්නේ මෙරට අනාගත දරු පරපුරට බවත්, ඒ නිසා රටේ සමස්ත මහජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතු බවද  ඒ මහතා අවධාරණය කළේය.