මගේ නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුනා – ජනාධිපති

දැනට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ දී නිවසක වටිනාකම තමාට තදින් දැනුන බවද, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

මේ බව ජනාධිපතිවරයා පෙරේදා (09 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ ‘රන්දොර උරුමය’ වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.