රට නිවැරදි මාවතේ ගෙනයෑමට ඉඩ නොදුන්නහොත් යළි නැගිටීමක් නොමැති බව ජනපති පවසයි

ශ්‍රී ලංකාව නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට  ගොඩනැඟෙන  ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

මේ බව ජනාධිපතිවරයා ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමින් සඳහන් කර සිටියේය. 

පළමු වතාවට මෙරට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත විණි.