නීතියේ ප්‍රමාදය ලොකු ගැටලුවක් වෙලා – ජනපති රනිල්..!

0

නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේ දී පැවසීය.  ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී ජනාධිපතිවරයා  රටක් ඉදිරියට යාමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකි බව සඳහන් කළේය.

සාමාන්‍ය ජනතාව පමණක් නොව  ආයෝජකයින් පවා අද නීතිමය කටයුතු ප්‍රමාදවීම පිළිබඳ විවිධ ගැටලු ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට චෝදනා කරමින් සිට මෙම ගැටලුව විසඳීමට හැකියාවක් නැති බවද  නීති ප්‍රතිසංස්කරණය කළ යුතු බවද සඳහන් කළේය.

රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කෙරිණි.

පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුලත් වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි. 

මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *