ඉදිරියේ දී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙළක්

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව ද සුවිශේෂ අවධානයකින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රට තුළ විශේෂ අවධානයක් යොමු වී තිබෙන අවස්ථාවක්. නිදහස් සෞඛ්‍ය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂ කැපවීම ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා.
ඒ නිසා වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග මේ රටේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් කුමන ආකාරයෙන් බලපානවාද යන්න පිළිබඳව රජය සුවිශේෂ අවධානයකින් කටයුතු කරනවා.
කොවිඩ් වසංගතයත් සමග මුළු ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අභියෝගයකට මුහුණ දුන්නා. එදා සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය පැමිණියේ අසීරු ගමනක්. සාමාන්‍යයෙන් වෛද්‍ය සැපයුම් අංශය වසරකටවත් ප්‍රමාණවත් ඖෂධ ඇණවුම් කරනවා. එමෙන්ම වසරකට අවශ්‍ය ඖෂධ ගබඩා කර ගැනීම සාම්ප්‍රදායිකව සිදු කරනවා. ඒ වන විට රටේ මූල්‍ය ගැටලු පැවතුණේ නැහැ.
කොවිඩ් වසංගතය සමග ගුවන් හා නාවුක ගමන් ඇණ හිටීමත් සමග රටවලින් භාණ්ඩ හුවමාරුව නතර වුණා. ඒ වන විට කොවිඩ් වසංගතය පාලනයට ප්‍රමුඛත්වය ලබා දීමට සිදු වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධ ගබඩාකරණය පිළිබඳ කටයුතු මගහැරි ගියා.
කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් අපි රට යළි යථා තත්ත්වයට පත්කරගෙන එන විට රටේ මහා දැවැන්ත අරගලයක් ඇති වුණා. මෙහි අවසන් ප්‍රථිඵලය ලෙස මහා අවුල් ජාලවකට රට පත්වුණා. ඒ නිසා ඖෂධ ඇනවුම් කිරීම පවා ප්‍රමාද වුණා.
ඖෂධ ගෙන්වීම සඳහා කුමන ක්‍රියාමාර්ග ගත්තත් එම ක්‍රියාවලිය අවසන් වීමට අවම වශයෙන් මාස 9ක පමණ කාලයක් ගත වෙනවා.මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු පැහැදිළි කිරීමෙන් පසු වර්තමාන ජනාධිපතිතුමා එම තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඖෂධ ගෙන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළා.
යම් යම් අඩුපාඩු තිබුණත් ඖෂධ පිළිබඳව මතුව ඇති මෙම තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බව පැවසිය යුතුයි. මෙම තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යාමේ වැඩපිළිවෙළ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

තාවකාලිකව මතුව ඇති ඖෂධ හිඟය නිවැරදි කර ගැනීමට ක්‍රියාමාර්ග ගණනාවක් මේ වන විට රජය ගෙන තිබෙනවා. මේ වන විට ඖෂධ වර්ග 19ක් අපි අලුතින් නිෂ්පාදනය කරනවා. ලබන කාර්තුව වන විට මෙයට තව ඖෂධ වර්ග 17ක් එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළ දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රමාණය 30% – 35%ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපි අපේක්ෂා කරනවා.
මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ප්‍රශ්නය
වෛද්‍ය සැපයීම් අංශයට 2021 දී මිලියන ගනනක් වියදම් කරල ස්ථාපිත කළ තොරතුරු පද්ධතිය දැන් අක්‍රිය වෙලා . එය මිලියන 100ක් වියදම් කර නැවත හදන්න තිබෙන වුවමනාව මොකක්ද ?
පිළිතුර
තිබු දත්ත පද්ධතිය delete button එක press වුණා කියලා සරලව ගන්න බෑ. මේ සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධව කටයුතු කළයුතු ආකාරය දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුවටත් මේ බව දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධව ගතයුතු තීන්දු තීරණ තිබෙනවා නම් ඒවා ගැනීමට පසුබට වෙන්නෙ නෑ.
ප්‍රශ්නය
නිර්වින්දන ඖෂධ පිළිබඳ යම් යම් සිදුවීම් පේරාදෙනිය රෝහලෙන් සහ රාගම රෝහලෙන් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර අධ්‍යයනයක් සිදු කරනවා කිව්වා. එහි අලුත්ම තත්ත්වය මොකක්ද ?
පිළිතුර
මේ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබෙනවා. විශේෂයෙන් පේරාදෙණිය ළමා රෝහලේ හා රාගම ශික්ෂණ රෝහලේ සිදු වූ මේ සිදුවීම් දෙකම සම්බන්ධයෙන් ප්‍රධාන වෛද්‍යතුමා පැහැදිළි කිරීමක් සිදු කළා. මෙම එන්නත පේරාදෙණිය රෝහලේ භාවිතා නොකරන බව වෛද්‍යවරුන් සනාථ කළා. මෙම සිදුවීම සම්බන්ධව පළමු වාර්තාව ලැබි තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධවත් වාර්තාවක් අප ඉදිරියේ දී ලබා ගන්නවා. එම නිර්වින්දන ඖෂධ මේ වන විට ඉවත් කර තිබෙනවා.
ප්‍රශ්නය
NMR ප්‍රධාන විධායක නිලධාරී කියනව ඹෟෂධ ලංකාවට ගෙන්වන විට ඒවා පරික්ෂා කිරීමට රසායනාගාර පහසුකම් සහ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නැහැ කියලා. ඇත්තටම ඉන්දියාවෙන් ගෙනා මෙම ඖෂධය පරික්ෂා නොකර ජනතාවට ලබා දීමක් සිදුවුණාද? ඇත්තටම නිලධාරීන් හිඟද? ඇයි මේ සඳහා රසායනාගාර පහසුකම් නැත්තේ ඇයි කියල සොයා බැලීමක් කළාද?
පිළිතුර
රසායනාගාර පහසුකම් ඇති කිරීම සඳහා දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කර විශේෂඥ දැනුම ලබා ගැනීමට කටුයුතු කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් පෞද්ගලික අංශ සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කර තිබෙනවා. මෙම වසර අවසන්වන විට මෙම රසායනාගර පහසුකම් ඇතිකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *