ජනපතිට සහය පළ කරමින් පක්ෂ 34ක් – “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබයි ‍

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය සියලු දෙනා එක් කර ගනිමින් රට ඉදිරියට ගෙන යන සම්මුතියක්

දේශපාලනඥයන්ගේ අනාගතය පිළිබඳ නොව තමන්ගේ අනාගතය පිළිබඳ සිතා මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කරන්න

මේ සම්මුතියට අත්සන් තැබුයේ බැහැ කියා පැන යන්නේ නැතිව පුළුවන් කියා නතර වූ පිරිසක්

දේශපාලන පක්ෂ සහ සන්ධාන 34 කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තබනු ලැබුයේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව සියලුදෙනා එක් කර ගනිමින් රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම සම්මුතියට අත්සන් තැබුයේ එදා ආර්ථික අභියෝගය හමුවේ බැහැ කියා පැන ගිය පිරිසක් නොව රට ගොඩනැඟිය හැකියි කියා එම අභියෝගය භාරගත් පිරිසක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” අත්සන් තැබීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ අද(16) පෙරවරුවේ පැවති සමාරම්භක උත්සවයට එක් වෙමිනි. එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් දේශපාලන පක්ෂ 34ක් එක්ව “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීම මෙහිදී සිදු විය. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර මෙම අවස්ථාවට ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද කළහ.

අනෙක් අපේක්ෂකයන් සියලුදෙනා රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමා බව පවසමින්, තමන් වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙස පවසද්දී, දේශපාලනඥයන්ගේ අනාගතය පිළිබඳ නොව තමන්ගේ අනාගතය පිළිබඳ සිතා මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. එදා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ හැරියා නම් අද ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම වෙනුවෙන් බවද කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“පුළුවන් ශ්‍රී ලංකා” අප මෙතනට රැස්ව මෙම සම්මුතියට අත්සන් තැබුවේ ඒ බව පෙන්වීමටයි. මෙම සම්මුතිය දේශපාලන පක්ෂයක් හැදීමට පමණක් ඇති කර ගත් සම්මුතියක් නොවයි. මෙම සම්මුතිය ඇති කර ගනු ලැබූයේ සියලුදෙනා එක් කර ගනිමින් ජනතාවගේ සහ රටේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙනුයි.

ඒ වගේම මේ සම්මුතියට අත්සන් තැබුයේ බැහැ කියා පැන යන්නේ නැතිව පුළුවන් කියා නතර වූ පිරිසක්. රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය කඩා වැටී රට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවේ ඇතැම් දේශපාලන නායකයන් පැන ගියා. නායකත්වය අමතක කළා. ඔවුන් රටේ ප්‍රශ්න දැක බිය වුණා. මම මේ රට භාර ගනිද්දී පක්ෂයක් තිබුණේ නැහැ. මේ රට ගොඩනැගිය හැකියි කියා අගමැතිතුමා, ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් මා සමඟ එක් වුණා. එදා පුළුවන් කියා පැවසු නිසා, අද ජනාධිපතිවරණය පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

එදා මේ රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සියලුදෙනා එය මතක තබාගත යුතුයි. එසේනම් මේ ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීමටයි. තමන් ගැන සිතා ඡන්දය ලබා දෙන ලෙස අනෙක් අපේක්ෂකයන් සියලුදෙනා ඉල්ලනවා. රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමන් බවත් පවසනවා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා ඡන්දය භාවිතා කරන ලෙසයි. පුළුවන් ශ්‍රී ලංකා සමඟ අප සියලුදෙනා එක්ව ඉදිරියට යමු.

අපි භාරගත්තේ බංකොලොත් වූ හා පෝලිම් යුගයක් තිබු රටක්. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර සහ ඖෂධ පෝලිම් රට පුරා තිබුණා. අපට මුදල් තිබුණේ නැහැ. ඇතැම් දිනවල ඩොලර් මිලියනයක්වත් තිබුණේ නැහැ. මෙම බංකොලොත්භාවයෙන් මිදීමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. ඒවා කැමැත්තෙන් ගත් තීරණ නොවයි. දරුවෙක්ට ඖෂධ ලබාදීමේදී, ශෛල්‍යකර්මයක් සිදු කිරීමේදී දෙමාපියන්ට සහ පවුලේ අයට එවන් තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේ අප මෙම තීරණ ගනු ලැබුවේ රට වෙනුවෙන් බව කිව යුතුයි.

එහිදී දුෂ්කරතා විඳ දරාගත් ජනතාවට අප යළිත් ස්තූතිවන්ත වෙනවා. ආර්ථිකය කඩා වැටුණු රටක් අපි භාරගෙන අද වන විට උද්ධමනය පාලනය කර විදේශ සංචිත ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ ජනතාව සමගයි. ආණ්ඩුව ඉවත් විය යුතුයි, මෙය විසඳන්න බැහැ කියා අනිත් අය වේදිකාවල කැ ගැහුවා. ජීනිවා ගියා. නමුත් අපි සමෘද්ධි ප්‍රතිලාභය වගේ තුන් ගුණයක් අස්වැසුම හරහා ජනතාවට ලබා දුන්නා. අප මේ වැඩකටයුතු කළේ රට ඉතා මූල්‍ය දුෂ්කරතාවකට මුහුණ දී තිබු අවස්ථාවකයි.

ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස 02ක් ලබා දුන්නා. ඒ වගේම උරුමය වැඩසටහන හරහා ජනතාවට ඉඩම් අයිතිය ලබා දි තිබෙනවා. කොළඹ මහල්නිවාසවල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් එම නිවාස අයිතිය ලබා දෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. එළැඹෙන වසරේ තවත් වැටුප් වැඩිවීමක් ලබා දෙනවා. වෙනත් කිසිදු ආණ්ඩුවක් මෙවන් වැඩකොටසක් ඉටු කර නැහැ. ඒ වගේම වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කළා. එම නිසා මෙම වැඩපිළිවෙළ අතරමග නතර කරනවද, නැද්ද කියා තීරණය කළ යුතුයි.

අපි රටවල් 18ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන 21ක් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණියා. මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම වෙනුවෙන් අප එම එකඟත්වය අනුව ඉදිරියට යා යුතුයි. මෙය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් මේ රටවල් සහ ආයතන 21 සමඟම නැවත සාකච්ඡා පැවැත්විය යුතුයි. අපට මේ වැඩකොටස ඉටු කිරීමට වසර 02ක් ගත් වුණා. සංශෝධනය කිරීමට නම් තවත් වසර 02ක ගත වෙනවා. නමුත් අපට මෙම සහන නොමැතිව රටක් ලෙස තව අවුරුද්දක්වත් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අප මෙම ක්‍රමය බිඳ වැටීමට ඉඩ දී ලැබීමට තිබෙන මුදල් අහිමි කර ගන්නවාද කියා තීරණය කළ යුතුයි.

එසේම අප ඉදිරියට යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. අපි දියුණු රටක් ඇති කර තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. රටේ අනාගතය තීරණය වන්නේ මේ අනුවයි. ඇතැම් අය සිතන්නේ වසර 05 – 06ක ඉදිරිය දෙස පමණයි. නමුත් Gen Z පරම්පරාව අවුරුදු 20 – 30ක් ඉදිරිය ගැන සිතනවා. තමන්ට අනාගයක් නැහැ කියා ඔවුන් රට හැර යන්න හදනවා. ඔවුන් වෙනුවෙන් අප මේ රට ගොඩනැඟිය යුතුයි.

අප ඉදිරියට පැමිණ තිබෙන්නේ නව බලවේගයක් ලෙසයි. රටේ දේශපාලන පක්ෂ කඩා වැටෙද්දි අප එකතු වුණා. ඒ වැඩපිළිවෙළ අපි තවත් අවුරුදු 05ක් ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සමඟම මේ රටේ අලුත් නායකත්වයක් ඇති වුණා. මෙවැනි ආණ්ඩුවක් මෑත කාලයේදී අප දැක නැහැ. මේ කණ්ඩායම සමඟ ඉදිරියට යා යුතුයි. අපට අවශ්‍ය රට හදන්නයි. ගම දියුණු කර මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක් කර ගනිමින් ඉදිරියට යාමට හැකි ශ්‍රී ලංකාවක් අප ඇති කළ යුතුයි. පුළුවන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ සමග අප හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ඉදිරියට යමු කියා මා ආරාධනා කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

වැටුණ රටක් ගොඩනඟන විට එහි ජීවත් වන ජනතාවට එම රට ගොඩනැගු නායකයා කිසිදා අමතක වෙන්නේ නැහැ. රට මුහුණ දුන් අභාග්‍ය සම්පන්නම කාලයේදී රටේ ආර්ථිකය ගොඩනැඟීමට පුළුවන් කියා එම වගකීම බාරගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. මෙම කාලයේදී වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ සහාය මැද ආණ්ඩුව ඉදිරියට ගෙන ආවා. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපතිවරයාට හැකිවුණා. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති නායකයන් පිළිබඳ සංසන්දනයක් කළ විට වත්මන් ජනාධිපතිවරයා සමඟ සමකළ හැකි කිසිම නායකයක් නැහැ. පාර්ලිමේන්තු ඉතිහාසය , රාජ්‍ය පාලන අත්දකීම්, ජාත්‍යන්තර සබඳතා තිබෙන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. එම නිසා එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රණයක් බවට පත් කිරීමට අප සියලු දේශපාලන නායකයින් එකමුතුව සිටින බව පැවසිය යුතුය.

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීතිඥ එම්. යූ. එම් අලි සබ්‍රි, නව සන්ධානය නියෝජනය නියෝජනය කරමින් සුසිල් ජයන්ත, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දේවානන්ද, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් හේමත්ප්‍රිය කවිරත්න, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, තමිල් මක්කල් විදූදලෙයි පුලිකල් නියෝජනය කරමින් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් අතාවුල්ලා, සමඟ ජනබලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ. එච්. එම් ෆවුසි, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් අසංක නවරත්න, නවලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම, එක්සත් ජනතා පක්ෂය නියෝජනය කරමින් අරවින්ද කුමාර්, මුට්පෝක්කු තමිලර් කලහම් නියෝජනය කරමින් එස්. වියාලේන්ද්‍රන්, නිදහස් ජනතා සභාව පක්ෂය නියෝජනය කරමින් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මොහමඩ් මුසම්මිල්, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් වඩිවේල් සුරේෂ්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් වේලු කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරමින් එස්. එම්. එම් මුෂාරෆ්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් චතුර සේනාරත්න, ජාතික සමඟි පෙරමුණ නියෝජනය කරමින් අසාද් සාලි, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරමින් චම්පික ලෝව්, ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් එම්. රාජනාදන් ප්‍රභාහරන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ශ්‍යාමිලා පෙරේරා, දේශප්‍රේමී ජනබලවේගය නියෝජනය කරමින් සුගත් සේවාපතිරණ,
ශ්‍රී ලංකා ප්‍රජාත්ත්‍රික පක්ෂය නියෝජනය කරමින් අන්වර් එම්. මුස්තාෆා, ලක්ජන පෙරමුණ නියෝජනය කරමින් චින්තක වීරකෝන්, එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරමින් සිරිමසිරි හපුආරච්චි, ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරමින් ආචාර්ය ඒ. එම් ජයරත්න, නවජන සෙත පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්. එම් ගාමිණී විජේනායක, මව්බිම සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් නිෂාම් මොහොමඩ්, එක්සත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් කේ. බී ජයමිණි ජිනදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.