ආරක්ෂිත ස්ටිකර් රහිත මත්පැන් බෝතල් ලක්ෂ 49 හේතුවෙන් රජයට බදු ආදායම අහිමි වීමක් සිදුවූයේ නැහැ

0

පසුගිය වකවානුවේදී ආරක්ෂිත ස්ටිකර් රහිත මත්පැන් බෝතල් ලක්ෂ 49 ක් පමණ වෙළඳ පලට නිකුත් කිරීම නිසා රජයට බදු ආදායම අහිමි විමක් සිදු නොවු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊයේ (24) සවස රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආරක්ෂිත ස්ටිකර් නොමැති මත්පැන් බෝතල් ලක්ෂ 49 ක් වෙළඳපලට නිතුක්වීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ කරුණු සඳහන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් වමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක් සමාගමක ස්ටිකර් මුද්‍රණ යන්ත්‍රයක් අක්‍රිය වී තිබීම හේතුවෙන් මෙම මත්පැන් බෝතල් තොගය වෙළඳ පලේ නිශ්චිත කලාපයකට නිකුත් කිරීමට අවසර ලබාදුන්නද එමගින් බදු ආදායම අහිමි වීමක් හෝ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවූ බවයි.
කෙසේ වෙතත් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සොයා කරන වැටලීම් අඛණ්ඩව සිදුකරන බවත් , මේ දක්වා සිදුකළ වැටලීම් වලින් සොයාගත් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වලින් රජයට අහිමි වූ බදු ආදායම අයකරගත් බවත් , එම එක් එක් සිද්ධියට රුපියල් ලක්ෂ 05 බැගින් උපරිම දඩ නියම කර මේ දක්වා රුපියල් කෝටි 05 ක පමණ මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුව ලබාගත් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *