මෙරට බදු ආදායම 92 % කින් ඉහළට

වසරේ මුල් මාස හය තුළ රජයේ  බදු ආදායම 92% කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 361.8 ක් වූ රජයේ බදු ආදායම, මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 696.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම වසරේ මුල් මාස 6 තුළ වැඩිම බදු ආදායම උපයා ඇත්තේ, සමාගම් සහ සමාගම් නොවන ආයතන හරහා ය. එම මුදල රුපියල් බිලියන 243.8 ක් ලෙස සඳහන් වේ.

එකතු කළ අගය මත, බද්ද ලෙස රුපියල් බිලියන 230.6 ක මුදලක් අය කරගෙන තිබේ.
මේ වසරේ මුල් මාස 6 තුළ ඔට්ටු හා සූදු බදු ලෙස අය කරගෙන ඇති මුදල රුපියල් බිලියන 2.5 ක් වේ.

රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු බව සඳහන් ය.