අත තුනකට කැඩෙයි

ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට  තීරණය කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට ප්‍රකාශ කර ඇති අතර දයාසිරි ජයසේකර මහතා සමග ජන බලවේගයේ අපේක්ෂකයාට සහාය පළ කරන බව දැනගන්නට තිබේ.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදි.

නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවද  පක්ෂ මූලස්ථානය පවතින්නේද තම කණ්ඩායම  මත හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බවත් ඔහු සඳහන් කරන ලදි.