නව දුම්රිය ට ජනතා ප්‍රසාදය

දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මාස 06ක පමණ කාලයක් නවතා දමා තිබුණු යාපනය හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (15) සිට යළි ආරම්භ කෙරුණි.

ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණය කෙරුණු අනුරාධපුරයේ සිට කන්කසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව පවතී.

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ අනුව මේ වසරේ ජනවාරි 05 වනදා සිට එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට අනුරාධපුරයට පමණක් සීමා කර තිබුණි.

මාර්ගයේ නවීකරණය අදියර 2ක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කෙරුණේ මහව සිට ඕමන්ත දක්වාත්, අනුරාධපුරයේ සිට මහව දක්වාත් වෙන් වෙන්වය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කෙරුණු නවීකරණ කටයුතු සඳහා සිදුකළ ආයෝජනයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 91.27කි.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස සම්පුර්ණයෙන්ම නවීකරණය කර අවසන් කර ඇත.

නවීකරණයෙන් පසු එම දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනයක් සඳහා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි දුම්රියක් යොදාගැණුනු අතර ඊට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද එක්වී සිටියේය.

ඒ අනුව නවීකරණ කටයුතු හේතුවෙන් නවතා දමා තිබුණු කොළඹ කොටුව හා යාපනය අතර දුම්රිය ධාවනය අද (15) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කෙරුණි.

එම දුම්රියෙන් යාපනය දක්වා පිටත්ව යෑමට විශාල මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටියේය.

ඒ අනුව අද උදෑසන 5.45 ට දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් ආරම්භ කෙරුණි.

මෙම දුම්රියේ ගිය මඟීන් සඳහන් කළේ සිය දෛනික කටයුතු තවත් පහසු කරගැනීමට මෙම දුම්රිය සහාය වන බවය.