“උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අතින් ජනතා අයිතියට

0

📌 ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි – ශ්‍රී ලංකා ජනපති

📌 ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටත් කටයුතු කිරීමට සූදානම් – ඉරාන ජනපති

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය ජනනී” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දුන් අතර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විදුලි ජනන යන්ත්‍ර පණ ගන්වා මෙහෙයුම් කටයතු ආරම්භ කිරීම ද ජනාධිපතිවරු දෙදෙනා අතින් සිදු කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉරානයේ සහාය නොවන්නට ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳිඔයට ගෙන යාමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. ඒ පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවද පැවසීය.

ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව ආසියානු කලාපයේ ජාතින් අතර උපරිම සහයෝගිතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකමේ සහතිකයක් ද වන බවයි.

ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මෙහිදී සහතික කළ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානමින් සිටින බවද සඳහන් කළේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ආචාර්ය ජමිලේ සදාත් අලමොල්හෝදා මැතිණිය ප්‍රමුඛ දූත පිරිස අද (24) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළින් මෙරටට ළඟා වූහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් විසින් එහිදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා ශ්‍රි ලංකාවේ එක්දින නිල සංචාරයකට එක්ව සිටින අතර 2008 වසරේ අප්‍රෙල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

සිය සංචාරය සනිටුහන් කරමින් ඉරාන ජනාධිතිවරයා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

ඉරානයේ ෆරාබ් (FARAB) සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන අතර සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාළ කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ. නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් ආරම්භ විය.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ.

ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ. මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද විසඳුම් ලබා දී තිබේ.

📌 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

අද මෙම අවස්ථාවට සහභාගිවීමට කරන ලද ආරාධනය පිළිගැනීම පිළිබඳව මම ඉරාන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අප දෙරට අතර වඩා සමීප සබඳතාවක් ඇති කළ අවස්ථාවක් ලෙස මා දකිනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මගේ ධූර කාලයට පෙර සිටි නායකයන් බව කිව යුතුයි. ඒ වගේම වියළි කලාපයට ජලය ලබාදෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දක්වනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ වගකීම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් භාරගෙන කටයුතු කළා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප දෙරටටම අභියෝගවලට මුහුණ දී මනා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා අපි මෙම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන්නා.

ඒ වගේම මෙම උමා ඔය ව්‍යාපෘතිය අප දෙරටේම පැරණි වාරි සම්ප්‍රදායන් දෙකෙහි එකතුවක් ද වෙනවා. ඉරානයේ පරිසියාව සහ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ වාරි සම්ප්‍රදාය මෙහි තිබෙනවා. ඉරානයේ තාක්ෂණික දැනුම නොතිබෙන්නට අපට උමා ඔයේ ජලය කිරිඳිඔයට ගෙන යාමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි.

ඉරානයේ තාක්ෂණික හැකියාව සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිඳී ගොස් තිබෙනවා. ඉරානය සිය රටේ තාක්ෂණික දියුණුව තමන් විසින්ම පවත්වාගෙන යන රටක් බව ද කිව යුතුයි. ඒ නිසා අප දෙරටටම පොදු කරුණු අප විසින් ශක්තිමත් කරගත යුතුයි. අප සියලු දෙනා ගෝලීය දකුණේ රටවල්. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාවය සහ ස්වාධීනත්වය තහවුරු කර ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වෙනවා.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ඉරානය අපේ රටේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබාදීමට දායක වී තිබෙනවා. එමඟින් එම ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. වියළි කලාපයට ජලය ලබාදීම යනු එම කලාපයේ ජනතාවට ජීවත්විමේ අයිතිය ලබාදීමයි. ගිරුවාපත්තුවෙන් මෙහා මාගම්පත්තුවේ තිබෙන නියඟය නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. එසේ නම් අද අප සිදු කර තිබෙන්නේ උඩවලවේ තිබෙන බහුකාර්ය ක්‍රමය, කිරිඳිඔයට ගෙන ඒමයි.

එම වාරි ක්‍රමවේදය වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා චීනයේ සිනොපෙක් සමාගමට ඉන්ධන පිරිපහදුවක් සඳහා අප දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. මේ සමඟ හම්බන්තොට දිස්ත්‍රික්කයට නව ආර්ථිකයක් ලැබෙනවා.

මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර් 6000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනවා. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු කරන්නේ උඩවලවේ ප්‍රදේශයයි. ඒ වගේම දැන් හම්බන්තොට ප්‍රදේශයේද එම කටයුතු සිදු කිරීමට හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ සමඟ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන දකුණු පළාත තුළ ද ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයට ද මෙමඟින් විශාල දායකත්වයක් ලැබෙනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් උත්පාදනය කෙරෙනවා. ගෝලීය දකුණේ දියුණුවන රටවල් ලෙස ඉරානය සහ ශ්‍රී ලංකාව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මීට වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යමු කියා මම ප්‍රකාශ කරනවා.

📌 ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වඩා වැදගත් වන්නේ ඒ තුළ පවතින අප රටවල් දෙක අතර සහ ජනතාවගේ කැමැත්ත සහ අධිෂ්ඨානය බව කිවයුතුයි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව මම ප්‍රකාශ කිරීමට කැමතියි. පසුගිය වසර 45 තුළ ලබා ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා.

📌 වාරිමාර්ග , වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය

ඌව පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. අද දවස මේ මහපොළව තුළ නව ගොවි බිම් හෙක්ටයාර් 1,500 ක් අස්වැද්දිය හැකි නවෝදයක් නිර්මාණය වන දවසක් ලෙස මම දකිනවා. ඒ වගේම පවතින ගොවි බිම් හෙක්ටයාර් 4,500 ක් යල සහ මහා කන්න දෙකේදීම අස්වැද්දිය හැකි යුගයක් ආරම්භ වනවා. බණ්ඩාරවෙල සහ වැල්ලවාය ජනතාවගේ පානිය ජල අර්බුදයට තිත තැබීම ද අද සිදු වෙනවා.ඒ වගේම මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120 ක අමතර විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකික අප ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ජාතියක්. අද දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් එම ශිෂ්ටාචාරයට නව ඉංජිනේරු තාක්ෂණය එක් කෙරෙන බව කිව යුතුයි.

📌 වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා අපට වගකීම ලබාදුන් සහ ඒ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ඉංජිනේරුවරුන්ට මාගේ ස්තුතිය පුද කර සිටිනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ජලය නොමැතිව විශාල පීඩාවකට ලක්ව සිටියා. ජලය නොමැතිව පිළිබඳ ගොවි සංවිධාන නිරන්තරයෙන් මැසිවිලි නැගුවා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කාලය ගත වුවත් ඒ සියල්ල විඳ දරා ගනිමින් අප සමඟ මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු ජනතාවට සිය ස්තුතිය පුද කර සිටිනවා.

📌 ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙරහබීන් මහතා

ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ මෙම හමුව අප දෙරටටම ඉතා වැදගත් අවස්ථාවක් බව කිවයුතුයි. ඒ වගේම මෙම ව්‍යාපෘතිය හරහා අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මෙවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉරානය ප්‍රමුඛ පෙළේ රටක් බව කිවයුතුයි. වාරිමාර්ග හා ජලපවාහන පිළිබඳ ජාත්‍යන්තර කොමිසමට අනුව ඉරානය වාරිමාර්ග ජාල සම්බන්ධයෙන් ලෝකයේ රටවල් අතර 05 වන ස්ථානයේ සිටිනවා. ඉරානයේ තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම ඇතිව ලෝකයේ රටවල් 20ක මෙවැනි විශාල ව්‍යාපෘති 50 ක් සම්පූර්ණ කර ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබී තියෙනවා. ඉරානය සහ ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීම මඟින් තාක්ෂණික හා ආර්ථික දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට ඉදිරියේ දී අප තව දුරටත් කටයුතු කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , අලී සබ්‍රි, මහින්ද අමරවීර , කංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , තාරක බාලසූරිය, විජිත බේරුගොඩ, ඉන්දික අනුරුද්ධ, සිරිපාල ගම්ලත්, ඩී.වී.චානක, තේනුක විදානගමගේ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ ,රාවුෆ් හකීම්, වඩිවෙල් සුරේෂ් , සුදර්ශන දෙනිපිටිය, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ ,එම්.එල්.ඒ.එම්. අතාවුල්ලා, යදාමිණි ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ඉරානයේ විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා ඇතුළු එරට මැති ඇමතිවරු ප්‍රමුඛ ධූත පිරිස සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලීරෙයිසා ඩෙල්කොෂ් මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *