එජාපය මැතිවරණ කොමිසම වෙතට

ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් පවත්වන ‍ෙලස එක්සත් ජාතික පක්ෂය (17) මැතිවරණ කොමිසමට ගොස් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර සහ සභාපති වජිර අබේවර්ධන මහත්වරු විසින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමට ගොස් කරන ලදි.

මෙහි දි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂයේ නීතිඥවරුන් සමඟ ගොස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක  මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හමුවී තම ඉල්ලීම ඉදිරිපත් කළ බවය.

මේ වන විට ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබී ඇති හෙයින් හැකි මෑතම දිනයේ දී ජනපතිවරණය පවත්වන්නැයි ඉල්ලා සිටි බව කී රංගෙ  බණ්ඩාර මහතා මැතිවරණය කල් දමා ගැනීම සඳහා ඉදිරිපත් කරන නඩු වලට තම පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැතැයි කොමිසමට දැනුම් දුන් බවද සඳහන් කරන ලදි.

එක්සත් ජාතික පක්ෂය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකි සෑම සහයක්ම ලබාදෙන්නේ යැයි කොමිසමට දැනුම් දුන් බවද එජාප මහ ලේකම්වරයා සදහන් කරන ලදි.